යාල ජාතික වනෝද්‍යානයේ කලාප අංක එකෙහි නීති විරෝධී ලෙසින් අසංවර ජීප් රථ ධාවනය සිදු කළේ අයන් මෑන් කණ්ඩායම නොවන බව අයන් මෑන් කණ්ඩායමේ නායක සහ අයන් මෑන් ව්‍යාපාර හිමිකරු සෑම් චන්ද්‍රසෝම අවධාරණය කරයි.
තමන් හෝ තමන් ගේ කණ්ඩායමේ කිසිදු සාමාජිකයන් අතර අදාළ කටයුත්තට කිසිසෙත් සම්බන්ධ නොවූ අතර ඊට සම්බන්ධ වූයේ වෙනත් කණ්ඩායම් බව ඔහු ලංකාසර අමතමින් ප්‍රකාශ කළේය.
තම කණ්ඩායම මෙයට සම්බන්ධ වූ බවට වන ජීවී නිලධාරීන් විසින් සිදු කර ඇති ප්‍රකාශය සම්පූර්ණයෙන්ම අසත්‍ය එකක් බව අවධාරණය කරන චන්ද්‍රසෝම මේ පිළිබඳව තමන් වනෝද්‍යාන පාලක වෙත මෙන්ම වන ජීවී අධ්‍යක්ෂ ජනරල්වරයා වෙත දැනුම් දිමට පියවර ගන්නා බවද ප්‍රකාශ කළේය.
අදාළ දිනයේ එනම් තම කණ්ඩායමක් යාල කලාප අංක 02ක ට ඇතුළු වූ බවත් ඒ සමඟ ජීප් රථ 07ක් සහ යාල සෆාරී ජීප් රථයක් එහිදී ගමන් කළ අතර වනය තුළ දී කිසිදු ආකාරයකින් අදාල වනෝද්‍යාන නීති රීතිවලිට පිටින් හෝ අසංවර ආකාරයකින් නොහැසිරුණු බව ඔහු පවසයි.
තමන් යාල සිට ආපසු එන අතරතුරදී සවස් යාමයේ තවත් ජීප් රථ කණ්ඩායමක් වනෝද්‍යානයට ඇතුළු වීම සඳහා ගමන් කරන ආකාරය තමන්ද දුටු බවත් මෙම කටයුත්තට සම්බන්ධ වන්නට ඇත්තේ අදාළ කණ්ඩායම විය හැකි බවට විශ්වාස කරන බවත් අයන් මෑන් නායක සෑම් චන්ද්‍රසෝම පවසයි.
“ අයන් මෑන් කියන්නේ එක් අතකින් මගේ ව්‍යාපාර සන්නාමය. අනෙක් අතින් අපි අයන් මෑන් ලෙසින් රටේ විවිධ ආපදා අවස්ථාවලදී විවිධ සහන කටයුතු සඳහා අපේ සේවය ලබා දීමට සැදී පැහැදී සිටින කණ්ඩායමක්. අපෙ කණ්ඩායම් සාමාජිකයන් සතු වාහන භාවිත කර එවැනි සමාජ ක්‍රියාකාරකම් අප සිදු කරනවා. නමුත් අපි ඒ සෑම දෙයක්ම කරන්නේ විනයක් ඇතිව රටේ නීති රීතිවලට යටත්වයි.“ සෑම් චන්ද්‍රසෝම පවසයි.
,







