තායිලන්තයට රැගෙන යාමට සැලසුම් කර ඇති මුතු රාජා හෙවත් ප්ලයි සක් සූරීන් හස්තියාට තායිලන්තයේදී අවශ්‍ය ප්‍රතිකාර ලබා දීමෙන් අනතුරුව ශ්‍රී ලංකාවට රැගෙන ඒමට කටයුතු කරන බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන අද (20) ප්‍රකාශ කළේය.
හස්තියාගේ භාරකරු කන්දේ විහාරාධිපති හිමියන් ප්‍රතිකාර කිරීමෙන් අනතුරුව ශ්‍රී ලංකාවට රැගෙන ඒමේ කොන්දේසිය මත ඇතා තායිලන්තයට රැගෙන යාම සඳහා ලිපි ලේඛන තායිලන්ත බලධාරීන් වෙත ඉදිරිපත් කර ඇති බව අග්‍රාමාත්‍යවරයා පාර්ලිමේන්තුවට ප්‍රකාශ කළේය.
අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියේ රෝගාතුරව සිටින සක් සූරීන් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
සිද්ධිය සම්බන්ධයෙන් තායිලන්ත රජයෙන් විධිමත් සමාවක් අයැදීමට ශ්‍රී ලංකා බලධාරීන් අපොහොසත් වී ඇති බවට අලහප්පෙරුම මන්ත්‍රීවරයා කළ චෝදනාවට ප්‍රතිචාර දක්වමින් අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ පසුගියදා තායිලන්ත සංචාරයේදී සිදුවූ සිද්ධිය සම්බන්ධයෙන් තායිලන්ත අග්‍රාමාත්‍යවරයාගෙන් සමාව ඉල්ලා සිටින බවයි.
සන්නස් පත්‍රයක කන්දේ විහාරයට ලැබී ඇති අලියා සම්බන්ධයෙන් වනජීවී දෙපාර්තමේන්තුවට වගකීමක් නොමැති බව වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි පැවසුවාය.
කෙසේ වෙතත් ඇතාගේ තත්ත්වය දැනගැනීමෙන් අනතුරුව දෙහිවල සත්වෝද්‍යානය වෙත රැගෙනවිත් අවශ්‍ය සත්කාර සහ ප්‍රතිකාර ලබාදුන් බව ඇය පැවසුවාය.
ඇතා තායිලන්තයට රැගෙන නොයන ලෙස ශ්‍රී ලංකා තායිලන්ත තානාපතිවරයාගෙන් ඉල්ලා සිටි බව පැවසූ අමාත්‍යවරයා, තායිලන්තයේ දැඩි ඉල්ලීම් මත දළ ඇතා තාවකාලිකව ප්‍රතිකාර සඳහා තායිලන්තයට රැගෙන යාමට වත්මන් සතා හිමි කන්දේ විහාරාධිපති හිමියන් අනුමැතිය ලබාදී ඇති බවද සඳහන් කළේය.







