දිනසේන රතුගමගේ –
කෝපායී ප්‍රදේශයේ හා තවත් ප්‍රදේශ කීපයක ගෙවල් ගිනි තැබීම් ,පෙට්‍රල් බෝම්බ ගැසීම්, පුද්ගලයින්ව කඩු වලින් කපා කොටා ඝාතනය කිරීම හා තුවාල සිදුකිරීම් ඇතුළු අපරාධ රැසකට අවශ්‍යව සිටි පුද්ගලයෙක් ඉන්දියාවට පැන ගොස් සැඟව සිට යළි හොර රහසේම යාපනය ගුවන් තොටුපල හරහා රටට ඇතුළු වීමට උත්සාහ කරද්දී පොලිසිය විසින් ඔහුව යාපනය ගුවන් තොටුපලේ දීම අත් අඩංගුවට ගෙන තිබේ.
අත් අඩංගුවට ගැනීමට සොයද්දී ඉන්දියාව පැන ගිය මෙම අපරාධරු යළි රටට එන බවට ඉන්දියාවෙන් ලද බුද්ධි තොරතුරක් මත ඊයේ (22) රැකවල් ලා සිටි පොලිසිය විසින් ඔහුව අත් අඩංගුවට ගෙන යාපනය අධිකරණයට ඉදිරිපත් කර රැඳවුම් නියෝග ලබා ගෙන ඇත.
මෙම පුද්ගලයා වසර තුනක කාලයක සිට ඔහුට එරෙහිව යාපනයේ අධිකරණ හතරක විභාග වෙමින් තිබූ නඩු 9 ක් සඳහා පෙනී සිට නැත. එම සියළුම නඩු වලට මොහු නොපැමිණීම නිසා වරෙන්තුද නිකුත් කොට තිබේ.







