අනුරාධපුර උතුර ජල සම්පාදන ව්‍යාපෘතියේ පළමු අදියර ජනතා අයිතියට පවරාදීමේ අවස්ථාවට අද (15) පෙරවරුවේ මහාකනදරාවට ගිය ජනාධිපතිවරයාට මහා කනදරා ව්‍යාපාරයේ ගොවි පිරිස් දැඩි විරෝධතාවයක් පල කළහ.
මහාකනදරා ගොවි ජනපදයෙ ගොවීන් විසින් අද ජනාධිපතිවරයා විසින් විවෘත කළ ජල ව්‍යාපෘතියට එරෙහිව විරෝධතාවය දක්වන්නේ ජල ව්‍යාපෘතියේ සැලසුම් ප්‍රකාරව එය සම්පූර්ණ නොකර ජලාශයේ ජල ධාරිතාව අඩුවන පරිදි පානීය ජල ව්‍යාපෘතියක් දියත් කිරීම හරහා ගොවි පවුල් 5400ක ජීවිත අනතුරේ වැටෙන බව පෙන්වා දෙමිනි.
ඔවුන් පැවසුවේ ජනාධිපතිවරයාට මේ මහපොලොවේ ගැටලුව නොදැනෙන බවය.

-
කලින් ගන්න හැදූ වාරණ නියෝග
අද ජනාධිපතිවරයා විසින් විවෘත කළ ජල ව්‍යාපෘතියට එරෙහිව මහා කනදරා ව්‍යාපාරයේ ගොවි ජනතාව විසින් සංවිධානය කරන උද්ඝෝෂණය සම්බන්ධව බුද්ධි තොරතුරුමගින් සනාථ කරගෙන එම ගොවි විරෝධය වළක්වාලමින් තහනම් නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා පොලිසිය පසුගිය 12 වැනිදා අධිකරණයට ගියේය.
පොලිසිය තහනම් නියෝගයක් ඉල්ලා සිටියේ ජනාධිපතිවරයා ඇතුළු ප්‍රභූවරුන්ගේ ආරක්ෂාවට මෙම විරෝධතාවය තර්ජනයක් බව ප්‍රකාශකරමිනි.
මිහින්තලේ ජනතා අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණයට කරුණු දක්වමින් පැවසුවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් මහජනයාට ලබා දී ඇති මූලික අයිතිවාසිකමක්වන සාමකාමීව රැස්වීමේ නිදහස භාෂණයේ නිදහස ඇතුළු අදහස් පල කිරීමේ නිදහස සීමා කිරීමට නොහැකි බවත් ප්‍රභූන්ගේ ආරක්ෂාව සැපයීම ප්‍රභූ ආරක්ෂක අංශවල වගකීමක් බවත්ය.
අනුරාධපුර අතිරේක මහේස්ත්‍රාත් රුද්ධිකා ද සිල්වා හේවාවසම්ය. ඇය පොලිසිය කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කළාය.
අද ජනාධිපතිවරයා ජල යෝජනා ක්‍රමය විවෘත කරන අවස්ථාවේ දී මහාකනදරා ව්‍යාපාරයේ ගොවි ජනතාව සිය විරෝධතාවය පවත්වමින් සිටියහ. විශාල පොලිස් සහ සන්නද්ධ විශේෂ කාර්ය බලකා සෙබල පිරිසක් විරෝධතාවය මැඩ පැවැත්වීම සඳහා රොක් වී සිටියහ. ගොවි ජනතාව ප්‍රධාන මාර්ගය මගහැර අතුරු මාර්ගයක් ඔස්සේ පැමිණ ජනාධිපතිවරයා ජල ව්‍යාපෘතිය විවෘත කරන ස්ථානය වෙත පැමිණියහ.
-
ගොවීන් විරුද්ධ වන්නේ කුමකට ද?
මහා කනදරා ව්‍යාපාරයේ ගොවීන් කියා සිටි කතාවක් තිබිණි. ඔවුන් කීවේ මොරහකන්ද ජලාශයෛන් මහාකනදරාව ජලාශයට ජලය ගෙන එන ඇල මාර්ගය ඉදිකිරීමට පෙර උතුරට ජලය යැවීමෙන් අහස් දියෙන් ජලය පිරෙන මහා කනදරාව බරපතල අර්බුදයකට ලක් වන බවය.
වැසි ජලයෙන් පෝෂණය වන මහාකන්දරාවේ ජලය එසේ බෙදා හැරීමෙන් ගොවි ව්‍යාපාරයේ ගොවි පවුල් 5400ක් අනතුරේ වැටෙන බව ඔවුහු පෙන්වා දුන්හ.
මෙම ජල සම්පාදන ව්‍යාපෘතියේ සැලසුම තිබුණේ මෙසේය. මහවැලි ව්‍යාපාරය යටතේ ඉදිවූ මොරගහකන්ද ජලාශයෙන් රැස් කරන ජලය අනුරාධපුර යකල්ල දක්වා ගෙන ඒමට කිලෝ මීටර 65ක ඇල මාර්ගයක් ඉදිකිරීමට සැලසුම් වී තිබිණි..
අනතුරුව ඇල මාර්ගය ඔස්සේ එන ජලය යකල්ලෙන් ශාඛා තුනකට බෙදී ඉන් එක් ඇලක් මහා කනදරා ජලාශයට සම්බන්ධ කර ජලාශය පෝෂණය කිරීමට යොදවනු ලැබීම සැලසුමේ විය. අනතුරුව මහා කනදරාවේ ජලය නල මාර්ගයක් ඔස්සේ උතුරට පානීය ජලය සහ ගොවිතැන් සඳහා අවශ්‍ය ජලය ලබා දීම ව්‍යාපෘතියේ සැලසුම විය.
නමුත් මෙම ව්‍යාපෘතිය ආරම්භ නොකර පානීය ජල ව්‍යාපෘතිය ආරම්භ කර තිබිණි. ගොවීන් විරෝධය දැක්වූයේ එයටය. ඔවුන් කීවේ මේ හේතුවෙන් ව්‍යසනයක් සිදුවන බවය.
ගොවි පවුල් 5400ක් පමණ අක්කර 9000ක් යල මහ අස්වද්දමින් යැපෙන මහා කනදරාව ව්‍යාපාරයම මේ සැලසුමෙන් පිට පැනීමේන් අර්බුදයකට ලක්කරන බවය. අක්කර බාගය අක්කර කාල කරන ගොවින්ගේ ජීවිත පීඩනය, ඒ පීඩනය ප්‍රකාශවන හඬේ ගැබ්වුන වේදනාව ජනාධිපතිවරයාට නොදැනන බව තමන් දන්නා බවත් ගොවීහු කීහ.
-
ගොවීන් කියූ කතා
“අපට මුලින් පොරොන්දු වුනේ මොරගහකන්ද ජලායශය මහාකන්දරාවට දීලා මහාකනදරාවට ජලය අවට පස්සේ ජලය ගන්නවා කියලා. ඒ බොරුව අපට කිව්වා. දැන් මොරගහකන්දෙන් වතුරත් නෑ, ඒරු ඇලෙන් වතුරත් නෑ. මානංකට්ටියේ වතුරත් නෑ. අහස් දියේ තියන මහාකනදරාවෙ මේ වතුර ටික අද හොර පාරේ ටික හොර පාරෙ යනවා.

අපි කියන්නෙ සාධාරණ කතාවක්. මේ ව්‍යාපෘතිය හරියට ක්‍රියාත්මක කරන්න. මහාකනදරාවට ස්ථිර ජල සැපයුමක් සපයන්න. ස්ථිර ජල සැපයුමක් සපයලා ඕන තූත්තුකුඩියකට වතුර දෙන්න. අපි විරුද්ධ නෑ. “ මහාකනදරාව ව්‍යාපාරයේ ඒකාබද්ධ ගොවි සංවිධානයේ භාණ්ඩාගාරික තුසිත සමන් පැවසුවේය.
විරොධතා මධ්‍යයේ ජනාධිපතිවරයා ජල ව්‍යාපෘතිය දියත් කළේය. අනතුරුව සාකච්ඡාවක් ඉල්ලූ ගොවි නියෝජිත පිරිසකට ජානාධිපතිවරයා හමුවීමට අවස්ථාව සැලසින. ජනාධිපතිවරයා මේ ප්‍රශ්නයෙන් කිසිවෙකුට අසාධාරණයක් නොවන තැනට වැඩ කටයුතු සලසන බවට ගොවීන්ට පොරොන්දු වූයේය.
එහෙත් සාකච්ඡාකර පිටතට පැමිණි ගොවීන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ විසඳුම ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීමට ඇති අපහසුතාවය මාධ්‍ය ඉදිරියේ පැහැදිලි කළේය.
“ ජනාධිපති තුමා කිව්වා වාර්මාර්ගය සහ වෝටර් බෝඩ් එක්ක කතා කරලා දැනට මිලියන දාහක් ලබා දෙනවා. ඒ මුදල ලබා දීලා ඒරු ඇලේ වතුර ධාරිතාව අක්කර අඩි 1200ක් විතර වැඩි කරලා මහා කනදරාවෙන් ගන්න වතුර ප්‍රමාණයට හරියන්න මහාකනදරාවට වතුර ලබා දෙනවා කියලා.”
“ඇත්තටම ප්‍රශ්නය මේකයි. අපිට මහවැලි වතුර නෑ. නමුත් ඒරු වැව කියන්නෙත් අහස් දියෙන් පිරෙන වැවක්. මහාකනදාරවත් එහෙමයි. මේක අවිනිශ්චිත වෙන්නේ ඒ හින්දා. අක්කර අඩි 1200ක් වැඩිකළත් ඒරු වැව පිරෙන්නත් ඕන අහස් දියෙන්. “ ගොවීන් පවසන්නේ අහස් දියෙන් ලැබෙන ජලයේ ප්‍රමාණයක් සොබා දහම විසින්ම නිර්නය කරන බවය. “මේකට සාර්ථක ක්‍රමය තමයි මොරගහකන්දෙන් මහා කනදරාවට ස්ථිර ජල සැපයුමක් ලැබිලා මේ ජල ව්‍යාපෘතිය දියත් වීම. එහෙම වෙනවට තමයි ගොවි ජනතාව හැටියට අපි කැමති. “
මහාකනදරාව ව්‍යාපාරයේ ඒකාබද්ධ ගොවි සංවිධානයේ භාණ්ඩාගාරික තුසිත සමන් ජනාධිපතිවරයා සමග පැවති සාකච්ඡාවෙන් අනතුරුව පැහැදිලි කළේය..







