දෙරණ –
නීති විරෝධී පිරමීඩ ගනුදෙනු සිදුකර තැන්පත්කරුවන්ගේ මුදල් වංචා කළ බවට චෝදනාලත් Onmax DT පෞද්ගලික සමාගමේ අධ්‍යක්ෂවරයෙකු ඇප ලබාගැනීමෙන් පසු රහසිගතව විදේශගතව ඇති බවට විමර්ශන නිලධාරීන් අද (15) අධිකරණයට කරුණු වාර්තා කළේය.
මේ බව හෙළි වන්නේ මෙම මුදල් වංචාව සම්බන්ධව Onmax DT පෞද්ගලික සමාගමේ අධ්‍යක්ෂවරුන් 6 දෙනෙකුට එරෙහි නඩුව අද (15) කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේ දී ය.
නඩුවේ 6වන සැකකරු වන Onmax DT පෞද්ගලික සමාගමේ අධ්‍යක්ෂවරයෙකුවන ධනංජය ජයාන් චාමර නැමැත්තා ඇප ලබාගැනීමෙන් පසුව මෙලෙස රහසිගතව විදේශගතව ඇති බවත් ඔහු පිළිබඳ තොරතුරු සෙවීම සඳහා ජාත්‍යන්තර පොලිසියේ සහාය ඇතිව විමර්ශන ආරම්භ කර ඇති බවත් විමර්ශන නිලධාරීන් අධිකරණයට පෙන්වාදී තිබේ.
සමාගම් අධ්‍යක්ෂවරුන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ අනුජ ප්‍රේමරත්ත කරුණු දක්වමින් පෙන්වා දුන්නේ විමර්ශන නිලධාරීන්ගේ ඉල්ලීම පරිදි අධිකරණය විසින් අදාළ අධ්‍යක්ෂවරුන්ට අයත් බැංකු ගිණුම් 58ක් අත්හිටුවා ඇති බැවින් තැන්පත්කරුවන්ගේ මුදල් ගෙවා නිමකිරීමට නොහැකිව ඇති බවය.
එමෙන්ම මෙම අධ්‍යක්ෂවරුන්ගේ දේපොළ අන්සතු කිරීම වළක්වාලමින් අධිකරණ නියෝගයක් නිකුත් කර ඇති නමුත් එවැනි නියෝගයක් නිකුත් කළ හැක්කේ මහාධිකරණයට පමණක් වන බවත් ජනාධිපති නීතිඥවරයා සඳහන් කළේය.
එහිදී කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් පැවසූවේ විමර්ශන පවතින අවස්ථාවක විමර්ශන නිලධාරීන් ඉල්ලීමක් කරන්නේනම් විමර්ශන සඳහා සහාය වීමට දේපොළ හෝ බැංකු ගිණුම් තහනම් කිරීමේ හැකියාව තම අධිකරණයට පවතින බවය.
අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ආර්.ඒ. පී රණවක අධිකරණය හමුවේ පෙන්වාදුන්නේ අදාළ සමාගමේ අධ්‍යක්ෂවරුන්ට අයත් දේපොළවලින් සුළු කොටසකට පමණක් තහනම් නියෝග ලබාගෙන ඇති බවත් විමර්ශනයට ලක් නොවූ තවත් රුපියල් කෝටි ගණනක දේපොළ අධ්‍යක්ෂවරුන් සතුව පවතින බවත්ය.
එවන් තවත් දේපොළ පිළිබඳ ලියවිල්ලක් එහිදී විමර්ශන නිලධාරීන් අධිකරණයට ඉදිරිපත් කරමින් එකී දේපොළ තහනම් කරන ලෙසට අධිකරණයෙන් ඉල්ලීමක් කළ අතර එම කරුණු සළකා බලා අදාළ දේපොළ තහනම් කිරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.
අනතුරුව නඩුව මැයි මස 2 වනදා දක්වා කල්තැබීමට ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේය.







