කොවිඩ් ප්‍රතිකාර සඳහා රෝගීන් ඇතුළත් කිරීම අධික වීමත් සමග පීඩනයකට ලක්ව තිබූ මහනුවර ජාතික රෝහලේ අංග සම්පූර්ණ කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයක් විවෘත වූ බවත් අද සිට රෝහලේ සෙසු රෝග ප්‍රතිකාර ඒකක සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාමට හැකි වන බවත් රෝහල් අධ්යක්ෂ වෛද්‍ය අරුණ ජයසේකර පැවසීය.
මහනුවර ජාතික රෝහලේ මෙම නව කොවිඩ් ප්‍රතිකාර ඒකකය සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල අතින් අද (26) උදේ විවෘත වූයේය.
රෝගීන් දෙසියකට එකවර නේවාසික ප්‍රතිකාර ලබා දිය හැකි ලෙස ස්ථාපිත කොට ඇති මෙම කොවිඩ් ප්‍රතිකාර ඒකකයේ අධි සත්කාර ඇඳන් 15ක් ද ඔක්සිජන් ප්‍රතිකාර ලබා දිය හැකි ඇඳන් අසූවක් ද වෙයි.
ජාතික රෝහලට ප්රවිෂ්ටවන ස්ථානයේ ගරාවැටී අතහැර තිබූ වාට්ටු සංකීර්ණයක් රුපියල් මිලියන අටක වියදමින් ප්‍රතිසංස්කරණය කොට මෙය ස්ථාපිත කළ බවත් මහනුවර ජාතික රෝහල් අධ්යක්ෂ වෛද්‍ය අරුණ ජයසේකර පවසයි .
මේ සඳහා වන මුදල් පරිත්‍යාගශීලීන් සහ දානපතීන් ගෙන් ලැබුණු වූ බවද හෙතෙම කීය.
මෙම ඒකකයේ විශේෂත්වය වන්නේ කොවිඩ් ආසාදිත දැයි සැක සහිත රෝගීන් ගේ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සහ පීසීආර් පරික්ෂණ සිදුකරන ලබන ඒකකයක්ද කොවිඩ් රෝගීන් හඳුනා ගැනීම සඳහා මූලික ප්‍රතිකාර ඒකකයක් ද( ඕ පී ඩී )මෙම ඒකකය තුළ ම ස්ථාපිත කර තිබීම ය.







