දිනසේන රතුගමගේ –
අනුරාධපුර බන්ධනාගාරයේ රඳවා සිටින දෙමළ දේශපාලන සිරකරුවන අතරින් දෙදෙනෙකු බන්ධානාගාර රාජ්‍ය අමාත්‍යවරයාගේ අමානුෂීය තාඩන පීඩන වලට හා තර්ජනයන්ට ලක් වූ බවට අවශ්‍ය තරම් සාක්කි ඇති බව දෙමළ ජාතික සන්ධානයේ යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන් පවසයි.
සුමන්තිරන් මන්ත්‍රීවරයා හා රාසමානික්කම් චානක්‍යන් මන්ත්‍රීවරයා ඇතුලු දෙමළ ජාතික සන්ධානයේ නියෝජිතයින් පිරිසක් 25 දා අනුරාධපුර බන්ධනාගාරයට ගොස් දෙමළ දේශපාලන සිරකරුවන් සමග පැය දෙකක කාලයක් සාකච්ඡා කිරීමෙන් පසුව සුමන්තිරන් මන්ත්‍රීවරයා මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ බව කියා සිටියේය.
”මේ සිද්ධිය සම්බන්ධයෙන් දැන් පරීක්ෂණ විවිධ අංශ වලින් සිදු වෙමින් පවතිනවා. අපි මේ ගැන බලාගෙන ඉන්නවා. මේ දෙමළ දේශපාලන සිරකරුවන් තවදුරටත් අනුරාධපුරය බන්ධනාගාරයේ රඳවා ගෙන සිටීම විශාල් ගැටලු හා ප්‍රශ්න නිර්මාණය කරන තත්ත්වයක් වෙලා තිබෙනවා. මොවුන්ව දෙමළ පළාත්වල බන්ධනාගාර වෙත යොමු විය යුතුයි. එසේම මේ වගේ ප්‍රශ්න හා සිද්ධීන් යළි ඇති නොවීමට ගත හැකි පියවර දෙමළ ජාතික සන්ධානය විසින් ජිනීවා මානව හිමිකම් මණ්ඩලයට යෝජනා කරනවා.“
“මේ සියලු දෙනා රඳවාගෙන සිටින්නේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේයි. මේ පනත අහෝසි කිරීමකට හෝ සංශෝධනයකට යා යුතු බවට ජිනීවා මානව හිමිකම් කොමිසම යෝජනා කරලා අවුරුදු ගානක් වෙනවා. ඒත් ඒක තවම සිදු වී නැහැ. මේ නිසා ජිනීවා මානව හිමිකම් මණ්ඩලයට මේ ගැන යළි අවධාරණය කිරීමක් දෙමළ ජාතික සන්ධානයේ නියෝජිතයින් විසින් 28 වෙනි අගහරුවාදා සිදු කරණු ලබනවා.“
“මේ පිරිසට එරෙහිව නඩු පවරා නෑ. ඔවුන් දැන් වසර ගණනාවක්ම බන්ධනාගාරයේ සිටිනවා.මේ තත්ත්වය නීති විරෝධීයි. ඒ නිසා මේ ආකාරයට බන්ධනාගාර ගත කොට සිටින දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස් කරන ලෙස දෙමළ ජාතික සන්ධානය සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටිනවා. එසේම මේ පිරිස නිදහස් කර ගැනීම සදහා දෙමළ ජාතික සන්ධානය යළිත් යම්කිසි ක්‍රියා මාර්ගයක් අනුගමනය කරනවා.”







