බිත්තරයක් රුපියල් 55ට අඩුවෙන් අලෙවි නොකරන ලෙස සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය ගොවීන්ට දැනුම් දී තිබේ.
එම සංවිධානයේ සභාපතිවරයා ප්‍රකාශ කරන්නේ රජය රුපියල් 43 හා 45 ලෙස පාලන මිල ප්‍රකාශ කරන්නේ පශු සම්පත් අමාත්‍යාංශය මෙම මාසය සඳහා බිත්තරයක නිශ්පාදන මිල රුපියල් බිත්තරයක් 49.50ක් ලෙස ප්‍රකාශ කර තිබිය දී බවය. සෑම මසකම බිත්තරයක නිශ්පාදන මිල එම අමාත්‍යාංශය ගණනය කර ගොවීන්ට ලබා දෙන බව ද එම සංගමය කියයි.
මෙවැනි තත්ත්වයක් තුළ පාරිභෝගික අධිකාරියට නීතියට පටහැනිව බිත්තර සඳහා පාලන මිලක් පැනවිය නොහැකි බවත් බිත්තරයකින් මෙපමණ දැවැන්ත පාඩුවක් සහිතව රජයේ මේ පාලන මිලට නම් බිත්තර නොවිකුණන බවත් බිත්තර නිශ්පාදකයෝ පවසති.
බිත්තර බෙදාහැරීම නැවැත්වීමට තීරණය කර නොමැති නමුත් වෙළඳුන්ට ගොවීන්ගෙන් බිත්තරයක් රුපියල් 55කට මිලදී ගත හැකි බව සංගමය පැහැදිලි කරයි.
මිට පෙර සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය තීරණය කර තිබුණේ හෙට (22) සිට බලපැවැත්වෙන පරිදි බිත්තරයක මිල රුපියල් 5කින් අඩු කිරීමටය.
කෙසේ වෙතත්, එම තීන්දුව ගත් දිනම බිත්තර සඳහා උපරිම සිල්ලර මිල නියම කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට පාරිභෝගික සේවා අධිකාරිය පියවර ගෙන තිබුණි.
එම ගැසට් නිවේදනයෙන් සුදු බිත්තර සඳහා උපරිම සිල්ලර මිල රුපියල් 43.00ක් ලෙස ද දුඹුරු/රතු බිත්තරයකට උපරිම සිල්ලර මිල රුපියල් 45.00ක් ලෙස ද මිල නියම කළේය.







