ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලයේ ආර්ථික හා දේශපාලන නියෝජිතයින් සහ ජාතික ජන බලවේගයේ ආර්ථික කවුන්සිලයේ නියෝජිතයින් අතර හමුවක් අද (19) පැලවත්ත ජ.වි.පෙ. ප්‍රධාන කාර්යාලයේදී පැවැත්විණි.
මෙම හමුවේදී ශ්‍රී ලංකාව මුහුණ දෙමින් සිටින සමාජ ආර්ථික අර්බුදය හමුවේ ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික ක්ෂේත්‍රය මුහුණ පා ඇති ගැටලු සහ ජනතාව මුහුණ දී සිටින ආර්ථික දුෂ්කරතා පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡාවට බඳුන් වූ බව එම පක්ෂය පවසයි. ආර්ථික අර්බුදය විසඳීම සම්බන්ධයෙන් වන ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්තිමය ප්‍රවේශයන් පිළිබඳවද එහි සාකච්ඡා කර ඇතැයි වාර්තා වේ.
බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලයේ ආර්ථික කටයුතු පිළිබඳ පළමු ලේකම් මැතිව් වර්ඩින්හම් (Matthew Wordinghem), දේශපාලන කටයුතු පිළිබඳ දෙවන ලේකම් ඇලෙක්ස් ස්මිත් (Alex Smith) සහ දේශපාලන උපදේශක නෙලුනි තිලකරත්න (Neluni Thilakaratne) සහභාගී වූ අතර ජාතික ජන බලවේගයේ ආර්ථික කවුන්සිලය වෙනුවෙන් ජාතික විධායක සභික මහාචාර්ය අනිල් ජයන්ත, ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම සහ ජාතික විධායක සභික මුදිත නානායක්කාර යන අය සහභාගි වූහ.







