බිමල් ශ්‍යාමන් ජයසිංහ –
බස් නැවතුම්පලට පැමිණෙන විට බස් රථ නොතාබුණ බැවින් පිළියන්දල බස් නැවතුම්පොලේ ගාල් කර තිබූ බස් රථයක් සොරාගෙන මහ රෑ පෙම්වතිය බැලීමට ගිය 15 හැවිරිදි බාලවයස්කාර පෙම්වතෙක් අත්අඩංගුවට ගත් බව පිළියන්දල පොලිසිය කියයි.
පිලියන්දල බස්නැවතුමෙන් ගමන් ආරම්භ කරන බස් රථ රියදුරන් සිව් දෙනකු ලංකාව හා පකිස්තානය අතර පැවැති ආසියානු කුසලනා අවසන් ක්‍රිකට් තරගය නැරඹීමට පිළියන්දල බස් නැවතුම්පොළ වෙත පැමිණ ඇත.
ඔහුන් පැමිණි බස් රථ නැවතුම්පොලේ පසෙක ගාල් කර තරඟය නරඹන අතරතුර රාත්‍රී ආහාර ගැනීම සඳහා ඊට මදක් ඈතින් තිබෙන ස්ථානයක් වෙත ගොස් තිබූ බව පොලිසිය කියයි.
ආහාර ගැනීමෙන් අනතුරුව රියදුරන් සිව් දෙනා බස් රථ නවතා තිබූ ස්ථානයට පැමිණීමේදී එක් බස් රථයක් නොමැති බවට දැක ඒ බව එහි රියදුරා පොලීසියට පැමිණිල්ලක් කර ඇත
වහා ක්‍රියාත්මක වූ පිලියන්දල පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සනත් රංජිත් පිලියන්දල හා අවට ප්‍රදේශය ආවරණය වන පරිදි ක්ෂණික මාර්ග බාධක දමා සෝදිසි මෙහෙයුමක් ක්‍රියාත්මක කර තිබේ.
රාත්‍රී 12.30 ට පමණ මොරගහහේන ප්‍රදේශයේ සිට කැස්බෑව දෙසට පැමිණිමෙන් තිබූ බස් රථයක් කෙරෙහි නිලධාරින්ගේ නිරීක්ෂණයට ලක්වන්නේ මේ අතරය. නි එහි ලියාපදිංචි අංකය තහවුරු කරගෙන බස් රථය නැවතීමට සංඥා කිරීමත් සමගම එය නැවතූ සැකකරු එයින් පිටතට පැන පලා ගොස් ඇත. ඔහු පසුපස හඹා ගිය පොලිස් නිලධාරීන් සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරුගෙන් ප්‍රශ්න කිරීමේදී ප්‍රකාශ කර ඇත්තේ රාත්‍රී අටට පමණ මොරගහහේන ප්‍රදේශයේ සිටින පෙම්වතියගෙන් දුරකථනයෙන් ලැබුණු ආරාධනාවක් අනුව ඇය හමුවීම සඳහා බස් රථයකින් යාමට බස් නැවතුම්පොලට පැමිණි බවත් එම අවස්ථාවේදී මොරගහහෙන ප්‍රදේශයට යාමට බස් රථයක් නොවූ බවත්ය. එබැවින් නවතා තිබූ බස් රථවලට ගොඩ වී පරික්ෂා කිරීමේදී එක් බස් රථයක පණගන්වන යතුර එහි ම රඳවා තිබූ බැවින් ,කිසිදු අයකු පෙනෙන්නට නොසිටි බැවින් බස් රථය රැගෙන පෙම්වතිය හමුවීම සඳහා මොරගහහේන ට ගිය බව ප්‍රකාශ කළ බව පොලිස් නිලධාරියා වැඩිදුරටත් පැවසීය.
අත්අඩංගුවට ගත් මෙම පහළොස් හැවිරිදි බාල වයස්කාරයා මීට වසරකට පමණ පෙරද හෝමාගම ප්‍රදේශයේ නවතා තිබූ බස් රථයක් සොරාගෙන ඒ ආකාරයෙන්ම පෙම්වතිය බැලීමට ගොස් යළි පැමිණෙන අතරවාරයේ දී පොලිස් අත්අඩංගුවට පත්වූ අයකු බවට වැඩිදුර විමර්ශන වලදී අනාවරණය වී ඇත.
පිළියන්දල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
ලංකාදීප –







