බිලියන ගණනක මූල්‍ය වංචා චෝදනා ලැබ මේ වනවිට අත්අඩංගුවේ පසුවන තිළිණි ප්‍රියමාලිගේ කුප්‍රකට ව්‍යාපාරයට සම්බන්ධ වීම හේතුවෙන් ඊයේ ( 01) අත්අඩංගුවට ගත් කඩවත – සිරි අරත්තක සමාධි අරණ විහාරස්ථානයේ වැඩසිටි බොරැල්ලේ සිරි සුමන හිමියන් අද අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
සිරිසුමන හිමියන් මෙන්ම මේ වංචාවේ ප්‍රධාන චූදිත අපරාධකරුවන්වන තිළිණි ප්‍රියමාලි සහ ඉසුරු බණ්ඩාර ද අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
ඊයේ (01) පස්වරුවේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිය විහාරස්ථානයේදී අත්අඩංගුවට ගත් සිරිසුමන හිමියන් අනතුරුව ප්‍රකාශ ලබාගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු මූලස්ථානය වෙත රැගෙන විත් තිබිණි.
තිළිණි ප්‍රියමාලි ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ පවත්වාගෙන ගිය ව්‍යාපාරය සඳහා ආයෝජනය කිරීමට වෙනත් පුද්ගලයන්ගෙන් මුදල් ලබාගැනීමට මෙම හිමිනම හවුල් වී ඇති බවත්, ව්‍යාපාරිකයන් ලබාදෙන මුදල්වලට ඇපයක් ලෙස රන් ආලේපිත පිත්තල පොලු ආරක්ෂාව සඳහා තැන්පත් කර ඇත්තේ බොරැල්ලේ සිරි සුමන හිමියන්ගේ පන්සලේ බවත් විමර්ශනවලින් අනාවරණය වී ඇත.
මේ බව බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි පසුගියදා පැවති මාධ්‍ය හමුවකදීද අනාවරණ කර තිබිණි.







