ශ්‍රියානි විජේසිංහ –
කෘමි නාශක සහ වල් නාශක ලංකාව තුළ බෙදා හරින ප්‍රධාන පෙළේ සමාගම් කීපයක් විසින් ලබා දුන් තොරතුරු අනුව තත්ත්වයෙන් බාල කෘමිනාශක හා වල්නාශක බෙදා හරින අලෙවිසැල් පරීක්ෂා කිරීමේ වැඩ පිළිවෙළක් ආරම්භ කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් පියවර ගෙන ඇත.
රට පුරා කිසියම් පිරිසක් තත්ත්වයෙන් බාල කෘමිනාශක හා වල්නාශක ඉහළ මිල ගණන් යටතේ අලෙවි කරමින් ගොවිජනතාවගේ මුදල් ගසා කන බව එම ප්‍රධාන පෙළේ පලිබෝධනාශක සමාගම් නියෝජිතයින් ඇමතිවරයාට කළ දැනුම්දිම අනුව ඔවුන්ගේ තොරතුරු මත මෙම පියවර ගත් බව සඳහන්වේ.
ඔවුන් පවසා ඇත්තේ තමන්ගේ නිශ්පාදන නොවන මෙම ප්‍රමිතියෙන් අඩු වල් නාශක හා කෘමි නාශක භාවිතා කිරීම මගින් වල් මර්දනයට හෝ පළිබෝධ මර්දනයට කිසිදු බලපෑමක් සිදු නොවන බවය. ප්‍රමිතියෙන් තොර රසායනික දුව්‍ය නිසා පාරිසරික හා සෞඛ්‍යමය ගැටලු ගණනාවක් උද්ගත වීමේ අවදානමක් පවතින බව ද එම ප්‍රධාන සමාගම් පෙන්වා පෙන්වාදී ඇත.
විශේෂත්වය වන්නේ ප්‍රමිතියෙන් බාල කෘමිනාශක හා වල්නාශක බෝගවලට යොදන අතරතුර ඒවා විෂ වීම නිසා මේ වනවිට ගොවීන් 54 දෙනෙකු පමණ මරණයට පත්ව ඇති බවත් එම සමාගම් නියෝජිතයින් පෙන්වා දීමය.
එමෙන්ම කෘමිනාශක හා වල් නාශකවල ඇසුරුම්වල ලේබල්ගත කර තිබෙන මුදල හැර වෙනත් මිලක් අය කිරීමට කිසිදු අලෙවි නියෝජිතයෙකුට නොහැකිය. කිසියම් අලෙවි නියෝජිතයෙක් ලේබල්ගත මිලට වඩා වැඩියෙන් මුදල් අය කළහොත් එම නියෝජිතයින්ගේ නියෝජිතභාවය අහෝසි කරන බවත්, ගොවි ජනතාවට ඒ සඳහා පාරිභෝගික ආරක්ෂණ අධිකාරියට පැමිණිලි කිරීමට හැකි බවත් ඔවුහු සදහන් කරති..
මෙහිදී අදහස් පළ කළ කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පාරිභෝගික ආරක්ෂණ අධිකාරිය මගින් වැටලීම් සිදු කිරීමට පියවර ගන්නා ලෙස ලේකම්වරයාට උපදෙස් දීඇත.







