හමාස් සංවිධානය ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් 13 දෙනෙකු සහ විදේශිකයන් හතර දෙනෙකු සෙනසුරාදා රාත්‍රියේ ජාත්‍යන්තර රතු කුරුස සංවිධානයට භාර දුන් බව කටාර් විදේශ අමාත්‍යාංශය ප්‍රකාශ කළේය.
කටාර් විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක Majed Al Ansari, සිය X ( කලින් ට්විටර් ) ගිනුමෙහි සටහනක් තබමින් ඊශ්‍රායල් ජාතිකයින් 13 දෙනෙකු සහ විදේශිකයන් 4 දෙනෙකු ICRC විසින් පිළිගෙන රෆා වෙත රැගෙන යන ආකාරය සම්බන්ධව තොරතුරු පල කළේය.
Update: 13 Israelis and 4 foreigners were received by ICRC and on their way to Rafah. https://t.co/1gijpX1yi1
— د. ماجد محمد الأنصاري Dr. Majed Al Ansari (@majedalansari) November 25, 2023
නිදහස් කළ ඊශ්‍රයාල ජාතිකයන් අතර ළමුන් 08ක් සහ කාන්තාවක් 05ක් වෙති. හුවමාරු එකඟතාවයන් මත ඊශ්‍රයාලය විසින් පලස්තීන සිවිල් වැසියන් 39 දෙනෙකු නිදහස් කර ඇත.

කටාර් සහ ඊජිප්තුවේ මැදිහත්වීමෙන් ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීමේ වැඩපිළිවෙළ ආරම්භ වීමෙන් පසු එය සුමට ලෙස ක්‍රියාත්මක කිරීම සඳහා කෙටි බාධාවක් ඇති විය.
වටලනු ලැබූ ප්‍රදේශයේ උතුරට ආධාර සැපයීම පිළිබඳ ආරවුලක් මත තාවකාලික ප්‍රමාදයකින් පසුව ගාසා ප්‍රාණ ඇපකරුවන් ගනුදෙනුව නැවත යථා තත්ත්වයට පත් වී ඇති බව රොයිටර් වාර්තා කරන්නේය.
ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීමට බාධා වූ අයුරු
සිකුරාදා පළමු ප්‍රාණ ඇපකරුවන් කණ්ඩායම නිදහස් කිරීමෙන් පසු වටලනු ලැබූ ප්‍රදේශයේ උතුරට ආධාර සැපයීම පිළිබඳ ආරවුලක් මත තාවකාලිකව ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීමේ වැඩපිළිවෙළ ප්‍රමාද වූ නමුත් ගාසා ප්‍රාණ ඇපකරුවන් ගනුදෙනුව නැවත යථා තත්ත්වයට පත් වූ බව ප්‍රකාශ විය.
ගිවිසුම් ප්‍රකාරව සෙනසුරාදා දිනය තුළ ප්‍රාණ ඇපකරුවන් නිදහස් නොකිරීමට හමාස් සංවිධානය කටයුතු කරනු ලැබුවේ උතුරු ගාසා තීරයට ආධාර ට්‍රක් රථ ඇතුළු කිරීමට ඊශ්‍රාය විසින් බාධා කිරීම සම්බන්ධ චෝදනා කරමිනි.
හමාස් ප්‍රකාශක ඔසාමා හම්දාන් පැවසුවේ සිකුරාදා සිට ගාසා තීරයට ඇතුළු වූ ආධාර ට්‍රක් රථ 340 න් 65 ක් පමණක් උතුරු ගාසා තීරයට ළඟා වූ බවත් එය “ඊශ්‍රායලය එකඟ වූ ප්‍රමාණයෙන් අඩකටත් වඩා අඩු” බවත්ය.

පලස්තීන සිරකරුවන් නිදහස් කිරීමේ කොන්දේසිවලට ගරු කිරීමට ඊශ්‍රායලය අපොහොසත් වී ඇති බව අල්-කසාම් බළකාය ද ප්‍රකාශ කළේය.
සිරකරුවන් සඳහාවන පලස්තීන කොමසාරිස් Qadura Fares පැවසුවේ බලාපොරොත්තු වූ පරිදි ඊශ්‍රායලය අපේක්ෂිත ප්‍රමුඛතාවය අනුව රැඳවියන් නිදහස් කර නොමැති බවය.
එහෙත් ඊශ්‍රායලයේ ආරක්ෂක අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයෙකු වන කෘෂිකර්ම අමාත්‍ය Avi Dichter චැනල් 13 ප්‍රවෘත්ති සේවයට ප්‍රකාශයක් කරමින් ඊශ්‍රායල “ගිවිසුම අනුව කටයුතු කරන” බව දන්වා සිටියේය.
එක්සත් ජාතීන්ගේ අධීක්ෂණය යටතේ උතුරු ගාසා තීරයට ආහාර, ජලය, නවාතැන් උපකරණ සහ වෛද්‍ය සැපයුම් සහිත ට්‍රක් රථ 50 ක් යොදවා ඇති බව ඊශ්‍රායලය කීවේය. ඔවුන් පෙන්වා දෙන්නේ එය යුද්ධය ආරම්භයේ සිට සිදුවූ පළමු වැදගත් ආධාර බෙදා හැරීම බවය.
වර්ධනය වූ මෙම තත්ත්වය තුළ ඊශ්‍රයාලය සියලු සටන් විරාම කොන්දේසි සපුරාලන තෙක් සෙනසුරාදා සැලසුම් කර තිබූ දෙවන වටයේ ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීම ප්‍රමාද කරන බව හමාස් සන්නද්ධ අංශය ඒ අනුව ප්‍රකාශ කර තිබුණි.

විසංවාදය නිමයි
කෙසේ වෙතත් කටාර් විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක Majed Al Ansari, පවසන්නේ දැන් එම විසංවාදය නිමා වී ඇති බවය.
රාජ්‍ය තාන්ත්‍රික ගනුදෙනු පිළිබඳ පරිචයක් සහිත පලස්තීන නිලධාරියෙක් උපුටා දක්වමින් රොයිටර් වාර්තා කර ඇත්තේ සති හතක යුද්ධයේ දී ඊශ්‍රයාලය සමග එකඟ වූ දින 04ක පළමු සටන් විරාම කාලයේ එකඟතා හමාස් විසින් දිගටම ආරක්ෂා කරනු ඇති බවය.







