විස්සයි 20 ලෝක ශ්‍රේණිගත කිරීම්වල අප ඉන්නේ 8වැනි තැනය. ඇෆ්ගනිස්ථාය 10 වැනි ස්ථානයේය. එහෙත් දඹුල්ල අන්තර්ජාතික ක්‍රීඩාංගනයේ අද පැවැත්වෙන මංගල විස්සයි 20 තරගයේ දී ඇෆ්ගනිස්ථානය සිය මුල් කාර්තුව ඉවර කරන්නේ මල් විසුරුවමිනි.
ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු ඕවර 20 ක්‍රීඩා කළේ නැත. ලකුණු 160කට සියල්ලෝ දැවී ගියහ. පැහැදිලිවම තව ලකුණු 20ක් 30ක් එක් වන ලකුණු තිබිණි. දසුන් ශානක තමන් විඩාපත් බව යළිත් කීවේය. ඈන්ජලෝ මැතිව්ස් සහ දසුන් කඩුලේ රැඳී සිටින අවස්ථාවේ දී ඔවුන්ට මේ තරගය වෙනස් රිද්මයකට පත් කළ හැකි බව අපට සිතුනත් එසේ වූයේ නැත.

ඇෆ්ගන් පන්දු යැවීම මෙන්ම පන්දු රැකීමත් මනරම්ය. අද ඔවුන්ගේ ක්‍රීඩා විලාශය අතිශයින්ම තියුණු බව ලියා තැබිය යුතුය.
තරගයේ කාසියේ වාසිය දිනුවේ ඇෆ්ගනිස්ථාන කණඩායමය. ඔවුන් පන්දු රැකීම තේරුවේය. එය යහපත් තීන්දුවක් බව ප්‍රකාශ වන්නේ පැතුම් නිශ්ශංක පළමු ඕවරයේ දවා ගැනීමට ෆසාල්හක් ෆාරුකී සමත්වීමෙනි. ෆාරුකී ගේ පන්දුවක් ඉදිරියේ කඩුළු රකින ක්‍රඩක රහ්මනුල්ලා ගුර්බාස් ලබා ගන්නා විචිත්‍ර උඩපන්දුවෙන් පැතුම් දැවී යන්නේ ලකුණු 06කට ය. ඔහු මුහුණ දුන්නේ පන්දු 04කට පමණි.
කුසල් මෙන්ඩිස් යළිත් කොහේටවත් නැති පාරක් ගසා දැවී යන්නේය. ඒ දැවී යන්නේ ලකුණු 10කටය. 3වන පන්දු ඕවරයේ 5 වැනි පන්දුවේ දී අස්මතුල්ලා ඕමාර්සායිගේ ඉපිලුන පන්දුව වදින්නේ මෙන්ඩිස්ගේ හිසෙහිය. ඒ කම්පනය ඔහුට තිබුණා දැයි කල්පනා වෙන්නේ ඔහු දැවීයාමට එල්ල කළ පහරත් සමගය. ඊලඟ පන්දු ඕවරයේ ෆසාල් හක් ෆාරුකී යැවූ මුල්ම පන්දුවටම කඩුල්ල විවෘත කර ස්කූප් පහරක් එල්ල කරන්නට යන්නේය. ෂෝරට් තරඩ්මෑන් කලාපයේ පන්දු රැකි අස්මතුල්ලා ඕමාර්සායි පහසු උඩපන්දුවක් රැකගන්නේය.
ඒ වනවිට පන්දුවට පහර එල්ලකරමින් ඉන්නා ධනංජය ද සිල්වා ආක්‍රමණශීලි පිතිකරණයක් දියත් කරමින් සිටියේය. සධීර සමරවික්‍රම අනෙක් අන්තයේ ය. වර්ණවත් පිතිකරණය නියැලෙමින් සිටි ධනංජය නවීන් උල් හක් එවූ පන්දුවකට ඉහළින්ම එල්ල කළ පහර හතරේ සීමාව අසල සිට සුරක්ෂිතව රැක ගන්නේය. ඒ පිටියේ පන්දු රකින්නන් යෙදවීම මෙන්ම ඒ අනුව පන්දු යැවීමේ ගණිතය ඇෆ්ගන් ක්‍රීඩකයෝ පෙන්වූහ. පන්දුව කෙලින්ම ඇදී යන්නේ හතරේ සීමාව අසල පන්දු රැකි නූර් අහමඩ් වෙතය.
ධනංජය පන්දු 17ක් තුළ හතරේ පහර දෙකක් සහ හයේ පහරක් සමග ලකුණු 24ක් ලබා සිටියේය.

අනතුරුව පිටියට පැමිණ ශ්‍රී ලංකා කණ්ඩායමේ නොම්බර 05 පිතිකරු චරිත් අසලංක පිටියට පැමිණි මොහොතේ සිටම කිසිම සංයමයක් හෝ ස්ථාවරයක් පෙන්නුවේ නැත. පිටියට පැමිණි අවස්ථාවේ සිට ඔහුගේ පිතිකරණ විලාශය අද ඔහු ඉනිමක් ක්‍රිඩා නොකරන බව පෙන්වූයේය. චරිත් අසලංක කඩුළු රකින ක්‍රීඩක රහ්මනුල්ලා ගුර්බාස්ගේ තවත් ප්‍රසංශනීය උඩපන්දු රැකීමක් ඉදිරියේ දැවී ගියේය.
ශ්‍රී ලංකා ඉනිම අද රැඳී තිබුනේ නායක වනිඳු හසරංගගේ මනරම් පිතිකරණය මතය. වනිඳ ලකුනු 67ක් ලැබුවේය. ඒ පන්දු 32ක් තුළය. ඊට හතරේ පහර 7කි. හයේ පහර තුනකි. නවීන් උල් හක් ගේ පන්දුවක් හමුවේ ඔහු ලකුණු 67කට දැවී යනවිට ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 146කි. ඔහු දැවි යන්නේ 6 වැනි කඩුල්ල ලෙසය. 16 වැනි පන්දු ඕවරයේ අවසන් පන්දුවේය.
එහෙත් ඔහුට පසු පිටියේ වගකීම දැරිය යුතුව තිබූ අත්දැකීම් සපිරි ඈන්ජලෝ මැතිව්ස් සහ දසුන් ශානක තරගය සිල්ලර කළේය. දසුන් තවමත් සිය විශ්වාසය ගොඩනගාගෙන නැති බව පෙන්නුවේය. ඔහු ලකුණු 06කට දැවී යන්නේය. මැතිව්ස් ලබා ගන්නේත් ලකුණු 06කි. වනිඳු පිටියෙන් ඉවත්වීමෙන් පසු එළඹි පන්දු ඕවර 3 තුළ ශ්‍රි ලංකා කණ්ඩායම ලකුණු 13ක් තුළ සිය කඩුළු 05ක් පූජා කරන්නේය.
අප ලඟා විය යුතුව තිබූ ඉලක්කය වෙත රැගෙන නොයෑමේ වගකීම ක්‍රිකට්වලට නාකි වූ මැතිව්ස් සහ දසුන් අත පැවරෙන බව නම් කිව යුතුය.
පන්දු යැවීමේ දී ෆසාල් හක් ෆාරුකී විශිෂ්ට කොටසක් ඉටු කළේය. ඔවු පන්දු ඕවර 4 තුළ ලකුණු 25කට කඩුළු 03කි. නවීන් උල් හක් ලකුණු 25කට කඩුළු 02කි. අස්මතුල්ලා ඕමාර්සායි ලකුණු 30කට කඩුළු 2කි. නූර් අහමඩ් සහ කරිම් ජනට් කඩුල්ල බැගිනි.
පන්දු රැකිම විශිෂ්ටය. කදිම රිද්මයකට පැමිණෙමින් සිටි සධීර සමරවික්‍රම දවා ගැනීමට 14වැනි පන්දු ඕවරයේ ප්‍රථම පන්දුවේ දී ඊබ්‍රහීම් සද්‍රාන් පන්දුව රැකගෙන කෙලින්ම කඩුල්ලට එල්ල කර ඔහ දවාගත් ආකාරය මනරම්ය. එය තරගය වෙනස් කළ පන්දු රැකීමකි.
දැන් ඇෆ්ගනිස්ථාන ඉනිම ආරම්භ වී තිබේ. ඔවුන් තරගයට ප්‍රවේශ වී ඇති රිද්මය අනුව යම් විශේෂ වෙනසක් නොවුනහොත් මේ තරගය ඔවුන්ගේය.







