යළිත් අපි දකින්නේ ජයග්‍රහණයේ ඉලක්කය දෙපසට දෝලනය වෙමින් පැවැති තියුණු තරගයකි. එ් තරගය ජය ගැනීම විශිෂ්ටය. ජයග්‍රහණය කෙසේ වෙතත් ඒ ක්‍රීඩාවේ ජීව ගුණය රක්ෂා වූ ජවසම්පන්න ක්‍රීඩා විලාශය අපට ආනන්දයට පත් කළ බව කිව යුතුය.
ශ්‍රී ලංකා කණ්ඩායම තියුණු ලකුණු 04ක ජයග්‍රහණයක් ලබා ගනිමින් රන්ගිරි දඹුළු ක්‍රීඩාංගනයේ පැවැත්වූ පළමු අන්තර්ජාතක විස්සයි 20 තරගය නිමා කර ඇත.
-
සටන්කාමී නායකයින් දෙපළ වටා ගොඩනැගුණ තරගයක්…
එය වගකීම් සහිත නායකයින් දෙදෙනෙකු වටා ගොඩනැගුන තරගයක් බවට බවට පරිවර්තනය වී තිබිණි. ඇෆ්ගනිස්ථානු නායක ඊබ්‍රහීම් සද්රාන් සහ ඔහුට බලාපොරොත්තු සහගත ජීවය ලබා දුන් ෆසාල් හක් ෆාරුකී එක් පසෙකය. ආරම්භක පිතිකරු ලෙස පැමිනි ඊබ්‍රහීම් තනිව එක් අන්තයක් රක්ෂා කරගෙන තරගවදිමින් නොදැවි ලකුණු 67ක් ලබා ගන්නේ අවසන් පන්දුවටත් ලකුණු 04ක් ලබා ගනිමිනි. ඔහු සිය ලකුණු 67ට හතරේ පහර 08ක් එල්ල කළේය. ඔහු විසින් මෙහෙයවූ කණ්ඩායමේ ඉලක්ක සපුරා ගැනීම වෙනුවෙන් ෆසාල් හක් ෆාරුකී සිටියේය. ෆාරුකී පන්දු ඕවර 04ම යවා ලකුණු 25කට කඩුළු 03ක් බිඳහෙළුවේය. ඔහු පසුපසින් පන්දු ඕවර 4ම යවා ලකුණු 30කට කඩුළු 02ක් ගත් අස්මතුල්ලා ඕමාර්සායි පන්දු ඕවර 3කට ලකුණු 25ක් දී කඩුළු 02ක් ලැබූ නවීන් උල්හක් විය.
කණ්ඩායම බිඳ වැටෙද්දී විශිෂ්ට ඉනිමක් ක්‍රීඩාකර ශ්‍රී ලංකා ඉනිම තමන් අතට ගෙන ගොඩනැගූ වනිඳු හසරංගත් ලකුණු 67ක් ලැබුවේය. ඒ පන්දු 32ක දීය. ඊට හතරේ පහර 07ක් සහ හයේ පහර 03ක් ඇතුළත් වී තිබිණි. පිතිකරණ රිද්මය ගිලිහී ගොස් සිටි වනිඳු තියුණු ලෙස සිය රිද්මය අත්පත් කරගත්තේය. ඔහු පසුපසින් සිටි ශ්‍රී ලංකා කණ්ඩායමේ බලාපොරොත්තු සහගත පන්දු යවන්නා වූයේ මතීෂ පතිරණය. අයි.පී.එල් පරිචය මතීෂ ඇෆ්ගන් කණ්ඩායම අභිමුව මුදා හැරියේය. පන්දු ඕවර 4 තුළ ලකුණු 24කට මතීෂ ලබාගත් කඩුළු 04 තරගය ශ්‍රී ලංකා කණ්ඩායම වෙත හැරෙව්වේය. මතීෂ මේ තරගයේ දී සිය තුන් වැනි කඩුල්ල දවා ගන්නේ මැද ඉන්න කුඩු කරමිනි. තරගය මැද ඉන්න මාරු කළේය.
ඔහුට පෙර ඇෆගන් රිද්මය ඉනිමෙන් මුලුමනින්ම බිඳ දැම්මේ හිටපු නායක දසුන් ශානක සිය පළමු ඕවරයේ දී ලබා ගත් කඩුළු 02නි. පිතිකරණයේ දී ඔහු විසින් අත්හල වගකීම ඔහු කණ්ඩායම වෙනුවෙන් පූරණය කළේය.
අවසන් ඕවරයේ අවසන් පන්දුව තෙක් ජයග්‍රහණය සොයා තරග වැදුනු ඇෆ්ගන් නායක ඊබ්‍රහීම් සද්රාන් ක්‍රීඩාවේ අත්නොහැර සටන් වැදීමේ මහා පෞරුෂය කුමක් දැයි පෙන්නුවේය. පරාජයත් ජයග්‍රහණයක් තරම් ගෞරවනීය වන්නේ එවැනි අධිෂ්ඨානශීලි ක්‍රීඩා පෞරුෂයන් තුළිනි.
-
ශ්‍රී ලංකා ඉනිම
තරගයේ කාසියේ වාසිය දිනුවේ ඇෆ්ගනිස්ථාන කණඩායමය. ඔවුන් පන්දු රැකීම තේරුවේය. එය යහපත් තීන්දුවක් බව ප්‍රකාශ වන්නේ පැතුම් නිශ්ශංක පළමු ඕවරයේ දවා ගැනීමට ෆසාල්හක් ෆාරුකී සමත්වීමෙනි. ෆාරුකී ගේ පන්දුවක් ඉදිරියේ කඩුළු රකින ක්‍රීඩක රහ්මනුල්ලා ගුර්බාස් ලබා ගන්නා විචිත්‍ර උඩපන්දුවෙන් පැතුම් දැවී යන්නේ ලකුණු 06කට ය. ඔහු මුහුණ දුන්නේ පන්දු 04කට පමණි.
කුසල් මෙන්ඩිස් යළිත් කොහේටවත් නැති පාරක් ගසා දැවී යන්නේය. ඒ දැවී යන්නේ ලකුණු 10කටය. 3වන පන්දු ඕවරයේ 5 වැනි පන්දුවේ දී අස්මතුල්ලා ඕමාර්සායිගේ ඉපිලුන පන්දුවක් මෙන්ඩිස්ගේ හිසේ වදින්නේය. ඒ කම්පනය ඔහුට තිබුණා දැයි කල්පනා වෙන්නේ ඔහු දැවීයාමට එල්ල කළ පහරත් සමගය. ඊලඟ පන්දු ඕවරයේ ෆසාල් හක් ෆාරුකී යැවූ මුල්ම පන්දුවටම මෙන්ඩිස් කඩුල්ල විවෘත කර ස්කූප් පහරක් එල්ල කරන්නට යන්නේය. පිත්තේ කොණක දැවටුන පන්දුව ෂෝර්ට් තර්ඩ්මෑන් කලාපයේ පන්දු රැකි අස්මතුල්ලා ඕමාර්සායි වෙත ඇදී යන්නේ පහසු උඩපන්දුවක් ලෙසය.

මේ වනවිට ධනංජය ද සිල්වා ආක්‍රමණශීලි පිතිකරණයක් දියත් කරමින් සිටියේය. සධීර සමරවික්‍රම අනෙක් අන්තයේ ය. වර්ණවත් පිතිකරණය නියැලෙමින් සිටි ධනංජය නවීන් උල් හක් එවූ පන්දුවකට ඉහළින්ම එල්ල කළ පහර හතරේ සීමාව අසල සිටි නූර් අහමඩ් සුරක්ෂිතව රැක ගන්නේය. පිටියේ පන්දු රකින්නන් යෙදවීම මෙන්ම ඒ අනුව පන්දු යැවීමේ ගණිතය ඇෆ්ගන් ක්‍රීඩකයෝ පෙන්වූහ. ධනංජය එල්ල කළ පහර කෙලින්ම ඇදී යන්නේ හතරේ සීමාව අසල පන්දු රැකි නූර් අහමඩ් වෙතය. ඔහුට තරමක් උසින් එන උඩපන්දුවට අනුව සුළු චලනයක් කිරීම පමණක් ඉතිරිිව තිබිණි.
ධනංජය පන්දු 17ක් තුළ හතරේ පහර දෙකක් සහ හයේ පහරක් සමග ලකුණු 24ක් ලබා සිටියේය. 5 වැනි ඕවරයේ 4 වැනි පන්දුවේ දී ධනංජය දැවී යනවිට ලකුණු 48ට කඩුළු 03කි.
අනතුරුව පිටියට පැමිණ ශ්‍රී ලංකා කණ්ඩායමේ නොම්බර 05 පිතිකරු චරිත් අසලංක පිටියට පැමිණි මොහොතේ සිටම කිසිම සංයමයක් හෝ ස්ථාවරයක් පෙන්නුවේ නැත. පිටියට පැමිණි අවස්ථාවේ සිට ඔහුගේ පිතිකරණ විලාශය අද ඔහු ඉනිමක් ක්‍රිඩා නොකරන බව පෙන්වූයේය. තරගයේ 5 වැනි ඕවරයේ 4 වැනි පන්දුවේ දී චරිත් අසලංක කඩුළු රකින ක්‍රීඩක රහ්මනුල්ලා ගුර්බාස්ගේ තවත් ප්‍රසංශනීය උඩපන්දු රැකීමකින් දැවී ගියේය. ඒ නූර් අහමඩ් ගේ පන්දුවක් ඉදිරියේය. අසලංක රැස් කරන්නේ ලකුණු 03ක් පමණි. 7 වැනි ඕවරයේ 2 වැනි පන්දුවේ දී හසරංග දැවී යනවිට තරගය ලකුණු 55ට කඩුළු 04කි.
අනතුරුව තරගයේ වැදගත්ම සම්බන්ධතාවය සධීර සමරවික්‍රම සහ වනිඳු හසරංග අතර ගොඩනැගිනි. 5 වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු ඕවර 8යි පන්දු 3ක් තුළ ලකුණු 72ක සම්බන්ධතාවයක් ගොඩනැගිනි. කැපී නොපෙනෙන ලෙස වේගවත් ඉනිමක් ක්‍රියාත්මක කරවන මැදපෙළ ශක්තිය ලෙස මෑත කාලය පුරාම කණ්ඩායම ස්ථාවර කළ සධීර සමරවික්‍රම ඇෆ්ගන් කණ්ඩායමේ නායක ඊබ්‍රහීම් සද්රාන්ගේ අලංකාර පන්දු රැකිම ඉදිරියේ දැවි යන්නේ තරයට යළිත් ඇෆ්ගනිස්ථානය ප්‍රවේශ කරවමිනි. කෙටි ලකුණක් සඳහා උත්සාහ කරන සධීර දවා ගැනීමට සද්රාන් පන්දුව රැකගෙන කඩුල්ල වෙත යොමු කළ ආකාරය අන්තර්ජාතික විචාරක ඇගයීමට ලක් වූයේය.
වනිඳු ගොඩනැගූ ඉනිම

ශ්‍රී ලංකා ඉනිම අද රැඳී තිබුනේ නායක වනිඳු හසරංගගේ මනරම් පිතිකරණය මතය. වනිඳ ලකුනු 67ක් ලැබුවේය. ඒ පන්දු 32ක් තුළය. ඊට හතරේ පහර 7කි. හයේ පහර තුනකි. නවීන් උල් හක් ගේ පන්දුවක් හමුවේ ඔහු ලකුණු 67කට දැවී යනවිට ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 146කි. ඔහු දැවි යන්නේ 6 වැනි කඩුල්ල ලෙසය. 15 වැනි පන්දු ඕවරයේ අවසන් පන්දුවේය.
එහෙත් ඔහුට පසු පිටියේ වගකීම දැරිය යුතුව තිබූ අත්දැකීම් සපිරි හිටපු නායක යුවල වූ ඈන්ජලෝ මැතිව්ස් සහ දසුන් ශානක තරගය සිල්ලර කළේය. දසුන් තවමත් සිය විශ්වාසය ගොඩනගාගෙන නැති පිතිකරුවෙක් බව පෙන්නුවේය. ඔහු ලකුණු 06කට දැවී යන්නේය. මැතිව්ස් ලබා ගන්නේත් ලකුණු 06කි. වනිඳු පිටියෙන් ඉවත්වීමෙන් පසු එළඹි පන්දු ඕවර 3 තුළ ශ්‍රි ලංකා කණ්ඩායම ලකුණු 13ක් තුළ සිය කඩුළු 05ක්ම පූජා කර සියල්ලන්ම දැවී යන්නේය.
පිතිකරණයට ඉඩක් සහිතව හැසිරෙන තණතීරුවක 20යි විස්ස අන්තර්ජාතික තරගයක පන්දු ඕවර 20 ක්‍රීඩා කිරීමට නොහැකිවීමම ජයග්රහණයෙන් යම් ප්‍රමාණයක් අතහැරීමක් වැනිය. අප තරගය නිමා කළේ එසේය.
ඇෆ්ගනිස්ථානය වෙනුවෙන් පන්දු යැවීමේ දී ෆසාල් හක් ෆාරුකී විශිෂ්ට කොටසක් ඉටු කළේය. ඔවු පන්දු ඕවර 4 තුළ ලකුණු 25කට කඩුළු 03කි. නවීන් උල් හක් ලකුණු 25කට කඩුළු 02කි. අස්මතුල්ලා ඕමාර්සායි ලකුණු 30කට කඩුළු 2කි. නූර් අහමඩ් සහ කරිම් ජනට් කඩුල්ල බැගිනි.

-
ඇෆ්ගන් පිතිකරණය
ඇෆ්ගනිස්ථානය පන්දුවට පහරදිමට එන්නේ මුල් භාගය හරියට කර උපන් විශ්වාසයත් සමගය. ආරම්භක පිතිකරුවන් දෙපළ පන්දුවට පහරදීම ආරම්භ කරන්නේ දැඩි ආයාසයකින් තොරවය. පන්දු යැවීම ආරම්භ කරන්නේ ඈන්ජලෝ මැතිව්ස්ය.
අනෙක් අන්තයෙන් පන්දු යැවීමට කැඳවන වමත් වේග පන්දු යවන බිනුර ප්‍රනාන්දු සිය මුල් පන්දු ඕවරය නිමා කරන්නේ හතරේ පහර දෙකක් සහිතව ලකුණු 09ක් ලබා දෙමිනි.
තරගයේ තුන්වැනි පන්දු ඕවරය යවන මැතිව්ස්ට සිය 3න් වැනි පන්දුවේ දී හයේ පහරකින් ද සිව්වන පන්දුවේදී 4 පහරකින්ද නිර්දය ලෙස පිළිතුරු ප්‍රහාරයකට ලක් කරන රහ්මනුල්ලා ගුර්බාස් ඊලඟ පන්දුවේ දී දවා ගැනීමට මැතිව්ස්ට හැකි වන්නේය. ඒ මතීෂ පතිරණ ෂෝට් තර්ඩ්මෑන් කලාපයේ සිට සිදුකළ විශිෂ්ට උඩපන්දු රැකීමක් ඉදිරියේය. මැතිව්ස් සිය දෙවැනි ඕවරයේ දි ලකුණු 13ක් ලබා දුන්නේය. ඔහු තරගයේ යැව්වේ පළමු සහ තුන්වැනි ඕවර දෙක පමණි. ලකුණු 16කට කඩුල්ලක් ලැබුවේය.
අනතුරුව ඊබ්‍රහීම් සද්රාන් සහ ගුල්බඩීන් නබී අතර බලාපොරොත්තු සහගත සම්බන්ධයක් නිර්මාණය වන්නට විය. මහීෂ් තීක්ෂණ යැවූ සිව් වන ඕවරයට ලකුණු 11කි. අන්තය මාරු කර මැතිව්ස් වෙනුවට කැඳවන බිනර ප්‍රනාන්දු යවන 5 වන ඕවරය නිමා වනවිට දුර්වල පන්දු රැකීමකින් පූජා කරන ලකුණ 05ක් ද සහිතව ලකුණු 16කි. මේ වනවිට දැඩි ප්‍රහාරාත්මක පිතිකරණයක යෙදී සිටින නායක ඊබ්‍රහීම් සද්රාන් පන්දු 19කට ලකුණු 32කි. 6 වැනි ඕවරය නිමා වනවිට ලකුණු 57ක් ලබාගෙනය.

වනිඳුගේ පැමිණීම
7 වැනි පන්දු ඕවරය යවා නිමවනවිට ඇෆ්ගනිස්ථානය ලකුණු 66ට එක කඩුල්ලකි. ලකුණු පහසුවෙන් පැමිණෙමින් තිබිණි. පන්දු යැවීමේ පැහැදිලි තර්ජනයක් නොවීය. නායක වනිඳු හසරංග පන්දු යවන්නට පැමිණෙන්නේ මේ වටපිටාවේය.
වනිඳු තරගයේ 8 වැනි ඕවරය ලෙස තමන් යවන මුල්ම පන්දු ඕවරයේ දීම ඇෆ්ගන් තරග රිද්මය පළුදු කළේය. ඔහු සිය මුල් පන්දු ඕවරයේ දී ලබා දෙන්නේ ලකුණු 3ක් පමණි. තමන් යවන මුල් ඕවරයේ පස්වන පන්දුවේ දී ඔහු ගුල්බඩින් නබී දවාගෙන ගොඩනැගෙමින් තිබුණු සබඳතාව බිඳ හෙළුවේය. වනිඳු කඩුළු දඩයම් කරනා ගුග්ලි පන්දුවට ගුල්බඩින් නබී හසුවන්නේය.
අනතුරුව තරගයේ 8 වැනි පන්දු ඕවරය යැවීමට කැඳවන මතීෂ පතිරණ වනිඳු ලබා දුන් ආරම්භය තියුණු ලෙස ස්ථාවර කළේය. පැයට කිලෝමීටර 140 -150 සිමාව තුළ ඇදි එන මතීෂගේ වේග පන්දුව තෝරා ගැනිමට ඇෆ්ගනිස්ථාන පිතිකරුවන්ට පහසු වූයේ නැත. මතීෂ සිය පළමු පන්දු ඕවරයේ අවසන් පන්දුවේ දී සිය මුල්ම කඩුල්ල දඩයම් කරන්නේය. දැවි යන්නේ අස්මතුල්ලා ඕමාර්සායි ය. මතීෂගේ පන්දුවට වැරදි පහරක් එල්ල කිරිමට යන අස්මතුල්ලා කවර්ස්හි පන්දු රකිමින් සිටි දසුන් වෙත පහසු උඩපන්දුවක් ලබා දි ඉනිම නිමා කරන්නේය.
දසුන්ගේ කඩුළු දඩයම
වනිඳු සහ මතීෂ ඉදිරියේ වේගවත් ඇෆ්ගන් ගමන පාලනය වී තිබිණි. වේගවත් පහරවලට යෑම වෙනුවට කෙටි ලකුණු සොයාගෙන යළි රිද්මයට එන්නට ඇෆ්ගන් ක්‍රිඩකයෝ උත්සාහ කරමින් සිටියහ. වනිඳු 11 වැනි පන්දු ඕවරය යැවිම සඳහා දසුන් ශානක කැඳවන්නේ මේ අවස්තාවේදී ය. වනිඳු සහ මතීෂ ගොඩනැගූ පීඩනය දැවැන්තව යළි ඇෆ්ගනිස්ථාන ඉනිම මත පතිත වන්නේ දසුන්ගේ මේ පන්දු ඕවරයෙ දී ය. දසුන්ගේ පළමු ඕවරයේ දෙවැනි පන්දුවේ දී ඇෆ්ගන් කණ්ඩායමේ බලාපොරොත්තු සහිත මැදපෙළ ක්‍රීඩකයා වූ මොහොමඩ් නබී කවර්ස්හි පන්දු රකිමින් සිටි වනිඳු හසරංග අතට උඩපන්දුවක් දී දැවි යන්නේය. ඊලඟ පන්දුවේදී දසුන් සිය දෙවැනි කඩුල්ලත් දවා ගන්නේය. දැවී යන්නේ නජිබුල්ලා සද්‍රාන්ය. වේගය අඩු කර එවූ පන්දුවට නජිබුල්ලා එල්ල කළ පහර ලෝන් ඕන් හි පන්දු රැකි ධනංජය ද සිල්වා රැකගත් ආකාරය කලකින් අමතක වන්නේ නැත. එය ඒ තරම් ආකර්ශනීය උඩපන්දු රැකීමකි. 12 වැනි පන්දු ඕවරය නිමා වනවිට ඇෆ්ගනිස්ථාන ඉනිම ලකුණු 89ට කඩුළු 5කි.
ඉන් අනතුරුව පිටියට පැමිණෙන කරීම් ජනට් සහ නායක ඊබ්‍රහීම් සද්රාන් අතර යලීත් බලාපොරොත්තු සහගත සම්බන්ධතාවයක් ගොඩනැගෙන්නට වූයේය. 16 වැනි පන්දු ඕවරය අවසන් වනවිට ඇෆ්ගනිස්ථානය ලකුණු 125කි. කඩුළු 05ක් පමණක් දැවී ඇත. පන්දු 24ක දී ලකුණු 36ක් ලබා ගත යුතුය. විස්සයි 20 තරගයක දී එය ලබා ගත හැකි ඉලක්කයකි. මේ ඉලක්කය දකිමින් යළිත් මතීෂ පතිරණ පන්දු යැවීමට කැඳවන්නේය.
මතීෂ පන්දු ඕවරය ආරම්භ කරන්නේ කදිම ඉලක්කයක් සමගය. පළමු පන්දුවේදීම කරීම් ජැනට් දවාගන්නට මතීෂට හැකි වුවත් එතැන් සිට වයිඩ් පන්දු තුනක් සමගින් ඔහු යවන දීර්ඝ ඕවරය තුළ ලකුණු 12ක් ලබා ගැනීමට ඇෆ්ගනිස්ථානය සමත් වූයේය. කඩුල්ලක් දැවී ගියත් 17 වැනි පන්දු ඕවරය නිමා වනවිට ඇෆ්ගනිස්ථානය හිටියේ ජයග්‍රහණයට සමීපවය. එක් අන්තයකින් නායක සද්රාන් නොදැවී හිඳී, ඒ වනවිට ඔහු පන්දු 46ක දී ලකුණු 58ක් ලබාගෙනය. අනෙක් අන්තයේ සිටිනා ක්වයිස් අහමඩ් ද පන්දුවට පහර දිය හැකි ක්‍රිඩකයෙකි.
මහීෂ් තීක්ෂණ 18 වැනි පන්දු ඕවරය යවා අවසන් වනවිට කඩුල්ලක් බිඳ වැටුනද ලකුණු 10ක් කණ්ඩායමට එක් වී තිබිණි. දැන් ජයග්‍රහණය සඳහා ලබා ගත යුත්තේ පන්දු 12ක දි ලකුණු 14ක් පමණි. එය නම් ස්ඵර්ෂ කරන ජයග්‍රහණයකි.
තරගය වෙනස් කළ ඕවරය

18 වැනි පන්දු ඕවරය යවන්නට මතීෂ පතිරණ කැඳවන්නේ මේ අවස්ථාවේ දී ය. මේ තීරණාත්මක ඕවරය තුළ තරගය නතර කරගත යුතු විය. ඊලඟ පන්දු ඕවරයට සැලකිය යුතු ලකුණු ප්‍රමාණයක් සහිත ඉලක්කයක් ද ලබා දිය යුතුය. මේ වනවිට නිත්‍ය පන්දු යවන්නාවන බිනුර ප්‍රනාන්දු හිටියේ හොඳටම ගුටි කා හෙම්බත් වී ය. ඔහුගේ මුල් පන්දු ඕවර 3ට ලකුණු 36ක් ලබා දී තිබිණි. දසුන් සහ මැතිව්ස් සිටින බව සැබෑය. එහෙත් අවසන් පන්දු ඕවරයේ දී ඔවුන්ගේ පන්දු යැවිම සම්බන්ධව විශ්වාසයක් මෑතකාලය තුළ ඇති කර නොතිබිණි. ඒ අනුව මතීෂ වෙත පැවරී තිබුණ වගකිම ඉතා තියුණු එකක් විය.
මේ තරුණ ජවසම්පන්න පන්දු යවන්නා වැඩේ හොඳටම කළේය. එය තරගය දිනවූ පන්දු ඕවරයකි. මතීෂ පන්දු යැවීම ආරම්භ කර තිබුණේ පැයට කිලෝමීටර 150ක වේගය ද ඉක්මවා යමිනි. 18 වැනි ඕවරයේ 2වැනි පන්දුව පතිත වන්නේ පැයට කිලෝමීටර 153ක වේගයක් සහිත යෝකර් පන්දුවක් ලෙසය. පන්දුවට පහර දෙමින් සිටි නූර් අහමඩ් පන්දුව දැක්කේත් නැත. තුන්වන පන්දුවේ දී නූර් අහමඩ්ගේ මැද ඉන්න බිඳී ගියේය. එය මුල් පන්දුවේ ගිලිහී ගිය ඉලක්කය සොයා ගත් යෝකර් පන්දුවක් වූයේය. 18 වැනි පන්දු ඕවරයේ අවසන් පන්දුවේ දී යළිත් සිය ඉලක්කය සොයා ගත් මතීෂ නවීන් උල්හක්ගේ කඩුල්ල යෝකර් පන්දුවකින් බිඳ දැම්මේය. ඔහු කඩුළු 2ක් දවා ගත්තේය. ලකුණු 03ක් පමණක් ලබා දුන්නේය. 18 වැනි පන්දු ඕවරය අවසන් වනවිට ඇෆ්ගනිස්ථාන කණ්ඩායම ලකුණු 150කි. කඩුළු 09ක් දැවී ගොස්ය.
අවසන් පන්දු ඕවරය යැවීමට බිනර තේරීම
දැන් ජයග්‍රහණය සඳහා ලකුණු 11ක් අවශ්‍යය. සිය අනෙක් අන්තයට වගකීම නොදී ජයග්‍රහණය තමන් විසින්ම ලබා ගැනීමේ තනි අභියෝගය නායක ඉබ්රහීම් සද්රාන් සතුවය. ඔහු පන්දු 49ක දී ලකුණු 61ක් ලබාගෙන සිටියේය. අවසන් පන්දු ඕවරය යැවිමට දසුන් හිඳී. මැතිව්ස් හිඳි. අත්දැකිම් සහිත පළපුරුදු නායකයන් දෙපළ සිටිද්දී වනිඳු අවසන් පන්දු ඕවරය යැවීමට හොඳටම ගුටි කා හෙම්බත් වී සිටි බිනර තෝරනවිට ප්‍රේක්ෂාගාරයත් ඔළුවේ අත ගසා ගත්තේය. එහෙත් අවසානයේ දී සැලසුම් සහගත පන්දු යැවීම ඊබ්‍රහීම් සද්රාන් ඉලක්ක කරගෙන බිනර ක්‍රියාත්මක කළේය. විශාල පහරට යන්නට නොදී පිටන්නට ඉවතින් පන්දුව පතිතකරමින් සද්රාන් පාලනය කරගැනීමට ඔහුට හැකි වූයේය. අවසන් පන්දුවේ දී හතරේ පහරක් ලබා ගත්ත ද අවසානයේ ඇෆ්ගනිස්ථාන කණ්ඩායම හිටියේ පහළිනි.
තරගය ආපසු හැරවූ අපූරු පන්දු යවන්නා මතීෂ පතිරණ තරගයේ වීරයා වූයේය. ඔහු ලකුනු 24ට කඩුළු 04ක් දවාගෙන තිබිණි.
ශ්‍රී ලංකා කණ්ඩාම ලකුණු 04ක තියුණු ජයක් ලැබුවේය. ක්‍රීඩාවේ තිබිය යුතු උත්කර්ෂය ගැබ්වුන ජවසම්පන්න තරගයක් දුටුවෙමු. අප හිතන්නේ ක්‍රීඩාවට ජීවය දුන් කණ්ඩායම් දෙකම දිනුම් බවය.







