පාකිස්තානයේ යොවුන් පිතිකරුවෙක් වූ හයිඩර් අලි මැන්චෙස්ටර් පොලිසිය විසින් අපරාධ පරීක්ෂණයකට යටත් කර අත් අඩංගුවට ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
අපරාධ වරදේ ස්වභාවය පිළිබඳ කිසිදු තොරතුරක් නිකුත් කර නොමැති බව ESPNcricinfo වාර්තා කර ඇති නමුත් බොහෝ විදෙස් මාධ්‍ය ඒජන්සි දක්වා ඇත්තේ මෙම අත් අඩංගුවට ගැනීම සිදුකර ඇත්තේ ස්ත්‍රී දූෂණ චෝදනාවකට යටත් කර බවය.
සඳුදා අවසන් වූ පාකිස්තාන ‘A කණ්ඩායමේ (Pakistan Shaheens’) එංගලන්ත සංචාරය අතරතුර මේ සිදුවිම වාර්තා වී ඇත. මේ වනවිට විමර්ශනය පිළිබඳව තමන්ව “දැනුවත් කර” ඇති බව පාකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලය නිවේදනයක් නිකුත් කර තිබේ. “මෙම ක්‍රියාවලිය පුරාම හයිඩර්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා” නීතිමය සහාය ලබා දෙන බව පකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලය තහවුරු කර ඇත.
” පකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලය එක්සත් රාජධානියේ නීතිමය ක්‍රියා පටිපාටි සහ ක්‍රියාවලීන්ට සම්පූර්ණයෙන්ම ගරු කරන අතර විමර්ශනය නියමිත වේලාවට ක්‍රියාත්මක වීමට ඉඩ දීමේ වැදගත්කම පිළිගනී. ඒ අනුව, දැනට ක්‍රියාත්මක වන විමර්ශනයේ ප්‍රතිඵලය ලැබෙන තෙක්, හයිඩර් අලි ගේ ක්‍රිකට් තාවකාලිකව අත්හිටුවීමට පකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලය තීරණය කර ඇත. නීතිමය කටයුතු අවසන් වී සියලු කරුණු නිසි ලෙස ස්ථාපිත කළ පසු, අවශ්‍ය නම්, එහි චර්යාධර්ම සංග්‍රහය යටතේ සුදුසු ක්‍රියාමාර්ග ගැනීමට පකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලය සිය අයිතිය රඳවා තබා ගනී.” පකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලය නිකුත් කළ නිවේදනයේ දැක්වේ.
24 හැවිරිදි හයිඩර්, පාකිස්තානය වෙනුවෙන් එක්දින තරග දෙකක් සහ විස්සයි20 තරග 35ක් ක්‍රීඩා කර ඇති ක්‍රීඩයෙකි. පකිස්ථාන ‘A කණ්ඩායමේ (Pakistan Shaheens’)එක්සත් රාජධානි සංචාරයේ දී කණ්ඩායමේ සිටි ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයෙකි.







