සූරියවැව නුවන් ජයසේකර
යාල රක්ෂිතයේ සිට මහ දවල් කිරින්ද දළදාගම ගමට කඩා වැදුණු වන අලියෙකු එලවා දැමීමේ මෙහෙයුමක් අතර තුරදී වන අලි පහරදිමකට ලක්ව වන සත්ව නියාමක වරයෙකු තුවාල ලබා ඊයේ (04) දින හම්බන්තොට මහ රෝහලට ඇතුළත් කර ඇතැයි කිරින්ද පොලිසිය පවසයි.
මෙලෙස වන අලි ප්‍රහාරයට ලක්ව තුවාල ලබා ප්‍රතිකාර සදහා හම්බන්තොට මහ රෝහලට ඇතුළත් කෙරුණේ යාල නිමලව අඩවි වන කාර්යාලයට අනුයුක්තව සේවය කරනු ලබන කේ.ඩබ්ලිව්.ඉන්දික කුමාර නැමති නිලධාරියෙකි.
නිදහස් දා කිරින්ද දළදාගම ගමට මහ දහවල් 01ට පමණ යාල රක්ෂිතයේ සිට වන අලියෙකු කඩා වැදී ඇති බවට ගම්මුන් විසින් වනජීවී නිළධාරීන් දැනුවත් කර තිබේ.
ඒ අනුව ගම් වැදුණු වන අලියා පන්නා දැමිමට යාල නිමලව වන සංරක්ෂණ කාර්යාලයේ නිළධාරීන් කණ්ඩායමක් පැමිණ මෙහෙයුමක් සිදුකර තිබේ. එම අවස්ථාවේ දහවල් 2.30ට පමණ වන අලියා පන්නා මෙහෙයුමේ නිරතව සිටි අදාල නිලධාරියාට වන අලියා පහරදි තිබේ.
එම අවස්ථාවේ වහා ක්‍රියාත්මක වු වනජීවී නිළධාරි හා ගම්මුන් එක්ව වන අලි ප්‍රහාරයට ලක් වු නිළධාරියා මුදාගෙන ප්‍රථිකාර සඳහා කිරින්ද රෝහලට ඇතුළත් කිරිමෙන් පසු වැඩිදුර ප්‍රථිකාර සදහා හම්බන්තොය මහ රෝහලට ඇතුළත් කර ඇත.
මෙම වන අලි පහරදීම හේතුවෙන් නියාමකවරයාගේ ඉල ඇට තුනක් පමණ කැඩී ගොස් ඇති බවට රෝහල් ආරංචි මාර්ග පවසයි. යාල වනජීවී කාර්යාලයේ නිලධාරීන් හා කිරින්ද පොලිස් ස්ථානයේ නිලධාරීන් එක්ව පැය කිහිපයක මෙහෙයුමකින් පසු වන අලියා යාල රක්ෂිතයටම පලවා හැරීමට කටයුතු කෙරුණි.







