-
අද කන්දකාඩුව පුනරුත්ථාපන කඳවුරක් ලෙස පාලනය කරන්න බෑ… රැඳවියන් නිලධාරීන්ට මරණ තර්ජනය කර පලා යනවා… හැමදාම රෑට ගහ මරා ගැනීම්… කඳවුරේ පරිපාලන නිලධාරීන්ට රැඳවියන්ට පහරක් ගහන්නවත් නීතියෙන් අවසර නෑ… කන්දකාඩු කඳවුරේ පරිපාලනය කියයි
කන්දකාඩු පුනරුත්ථාපන කඳවුර තුළ පාලනය කරගත නොහැකි තරම් බිහිසුණු ව්‍යාකූල තත්ත්වයක් ඇති වී තිබෙන්නේ යුක්තිය මෙහෙයුමෙන් අත් අඩංගුවට ගැනීමෙන් අනතුරුව පුනරුත්ථාපන කඳවුර වෙත යොමු කළ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පිරිසක් හේතුවෙන් බව අතිශය විශ්වාස කටයුතු ආරංචි මාර්ග හෙළි කරයි.
ලංකාසර කළ සොයා බැලීමක දී අනාවරණය වන්නේ අධිකරණයේ දඬුවම් ලැබිය යුතු දිනකට ලක්ෂ ගණනින් මත්ද්‍රව්‍ය ජාවාරම් කළ මෙම මත්ද්‍රව්‍ය ජාවාරම්කාර කණ්ඩායම පුනරුත්ථාපනයට බව පවසමින් කන්දකාඩු පුනරුත්ථාපන කඳවුරට යොමු කිරීම නිසා බවය.
මෙම පිරිස කඳවුරට පැමිණි අවස්ථාවේම තමන්ට පුනරුත්ථාපනය වීමට අනවශ්‍ය බවත්, අධිකරණ ක්‍රියාවලියකට නොගොස් මේ ආකාරයෙන් රඳවා තබා ගැනීම තුළ ප්‍රශ්න ඇතිවිය හැකි බවත් සන්නිවේදනය කර ඇතැයි ද එම ආරංචි මාර්ග පැවසුවේය.
මත්කුඩු ජාලය මෙහෙයවන මෙම අපරාධකරුවන් මීගමුවෙන් කන්දකාඩු කඳවුර වෙත යොමු කිරීමෙන් අනතුරුව මත්කුඩු භාවිතාකිරීම නිසා අධිකරණයෙන් පුනරුත්ථාපනය සඳහා යොමු කළ, කලක් කඳවුරේ රැඳී සිටි රැඳවියන් සමග එක් වී ඇතැයි වාර්තා වේ. මුලින්ම මෙසේ එක් වී ඇත්තේ මීගමුව ප්‍රදේශයේ සහ ඒ ආසන්නව පදිංචිව සිටි රැඳවියන් බව ද දැනගන්නට ඇත.
මෙසේ කලක් කඳවුරේ රැඳී සිටි පිරිස ජාවාරම්කාර කණ්ඩායමට කඳවුර තුළ පරිපාලනයේ දුර්වලතා, නිලධාරීන්ගේ දුර්වලතා මෙන්ම හසුරුවා ගතහැකි නිලධාරීන් සම්බන්ධව පූර්ණ විස්තරයක් ලබා දී ඇතැයි ද ඒ තොරතුරු මත හැසිරෙන මේ ජාවාරම්කාර කණ්ඩායම මේ වනවිට නිතිපතා කඳවුර තුළ කැරළි ඇතිකරමින් ඇතැයි ද වාර්තා වී ඇත.
අභ්‍යන්තර තොරතුරු හෙළි කරන්නේ කඳවුරේ නිලධාරීන්ට තර්ජනය කර රැඳවියන් කඳවුරෙන් පිටතට යන බවත්, ඊයේ බස් රථයක් කොල්ල කන්නට ගොස් වැරදුන තැන පුද්ගලයෙකුට පිහියෙන් ඇන රුපියල් පනස් දහසක් හා ජංගම දුරකථන දෙකක් පැහැරගෙන පැමිණියේ මෙවන් කණ්ඩායමක් බවත් ය.
“ අපිට මේ සම්බන්ධව මේ මට්ටමේ දී මැදිහත් වීම් කරන්න අමාරුයි. මොකද එක් රැඳවියෙකුටවත් බැරිවෙලාවත් අපිට එක පාරක්වත් ගහන්න බෑ. එහෙම සිද්ධ වුන හැටියේ ජීවිත කාලය පුරාම මානව හිමිකම් කඩකිරීමේ චෝදනා මත නඩු කියන්න වෙනවා. රැකියාවත් අහිමි වෙනවා. කන්දකාඩු කඳවුර තුළ දැන් ඇතිවෙලා තියෙන්නේ අතිශයින්ම සංකීර්ණ තත්ත්වයක්” අපට තොරතුරු හෙළි කළ නිලධාරියෙක් පැවසුවේය.
“ යුක්තිය මෙහෙයුම පටන් ගන්නකොට ඒ අයට අත් අඩංගුවට ගන්න පුද්ගලයින් සම්බන්ධව සැලසුමක් තිබුණේ නෑ. අද බන්ධනාගාර පිරී ගිහින්. පුනරුත්ථාපන කඳවුරුවල විශාල ප්‍රශ්න ඇති වෙලා.” තත්ත්වය ගැන කතා කරන විට පරිපාලන අංශ පවසන්නේ එවැනි කතාවකි.
මෙවැනි තත්ත්වයක් ඇතිවන්නට හේතුව කුමක්ද යන්න පුනරුත්ථාපන අධ්‍යක්ෂ ජෙනරාල් විශ්‍රාමික මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චිගෙන් අවසාන වශයෙන් විමසුවෙමු.
ඔහු කිව්වේ ” මේ සිදුව ඇත්තේ කිරි කළයට ගොම බින්දුවක් දැමුවා වැනි වැඩක්” කියාය.
තමා කිසිවෙකුටත් චෝදනාවක් එල්ල නොකරන බවද කන්දකාඩුව පුනරුත්ථාපන හා ප්‍රතිකාර මධ්‍යස්ථානය තුළ අකටයුතුකම් සිදුකරමින් සෙසු රැඳවියන් ද නොමග යවා නීති රාමුවෙන් පිටතට කටයුතු කරන්නේ මෑත කාලීනව යුක්තිය වැඩසටහනෙන් අල්ලා ගෙනැවිත් දමා ඇති පිරිස බව හෙළි කරගෙන ඇතැයි ද පුනරුත්ථාපන අධ්‍යක්ෂ ජෙනරාල්වරයා කීවේය.







