වරාය සම්බන්ධව ඇති වී තිබෙන අර්බුදයේ දී වර්ෂ 2019 ඇති කරගත් ගිවිසුම් ප්‍රකාරව ලංකාව කටයුතු කිරීමේ අවශ්‍යතාවය අවධාරණය කිරීම සඳහා ඉන්දීය මහකොමසාරිස් ගෝපාල් බග්ලේ ඊයේ ( 02) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, අගමැති මහින්ද රාජපක්ෂ හා විදේශ ඇමති දිනේෂ් ගුණවර්ධන හමු වූ බව “ද හින්දු“ වෙබ් අඩවිය වාර්තා කරයි.
මහකොමසාරිස්වරයා රටේ නායකයන්ව මෙසේ මුණ ගැසෙන්නේ නැගෙනහිර පර්යන්තය වරාය අධිකාරියේ පූර්ණ භාරකාරිත්වය යටතේ සංවර්ධනය කරන බවට පසුගිය 01 දා කැබිනට් අනුමැතියෙන් තීන්දුවක් ගත් පසුවය.
මහකොමසාරිස්වරයා ඉන්දියාවේ තීන්දුව දැනුම් දෙමින් පවසා ඇත්තේ බටහිර පර්යන්තය සම්බන්ධව නොව නැගෙනහිර පර්යන්තය සම්බන්ධව අදාල ගිවිසුම ක්‍රියාත්මක විය යුතු බවත්, ඒ සඳහා අදානි සමූහය ඩොලර් මිලියන 700ක් ආයෝජනය කිරීම සඳහා සැලසුම් කර තිබෙන බවත්ය.
එමෙන්ම ජනාධිපතිවරයා ප්‍රකාශ කළ විදෙස් ණය ලබා ගැනීම නැවැත්වීම හා ඍජු විදේශ ආයෝජන පමණක් සංවර්ධන කටයුතු සඳහා ලබා ගැනීම සම්බන්ධ වූ පිළිවෙත නැවත සලකා බලන ලෙසත් ඉන්දීය මහකොමසාරිස්වරයා දැනුම් දී ඇතැයි හින්දු පුවත්පත වාර්තා කරයි.







