දිනසේන රතුගමගේ –
යාපනයේ මල්ලාකම් අධිකරණයේ නඩුබඩු ගබඩාවේ තිබූ කිලෝ ග්‍රෑම් පනහක කේරළ ගංජා අඩංගු මලු හතරක් අතුරුදහන් වී ඇති බවට යාපනය තෙලිප්පලෙයි පොලීසියට 12 දා පැමිණිලි කොට තිබේ.
මල්ලාකම් අධිකරණයේ නඩුබඩු බාරව කටයුතු කරණ නිලධාරියා විසින් සිදු කොට ඇති පැමිණිල්ලේ සඳහන් කොට ඇත්තේ යාපනයේ කන්කසන්තුරේ ප්‍රදේශයේදී මෙම කේරළ ගංජා තොගය පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන ඇති බවත් ඒ සම්බන්ධයෙන් වූ නඩුව මල්ලාකම් අධිකරණයේ තවමත් විභාග වෙමින් පවතින බවත්ය.
නඩුවේ ප්‍රධාන හා එකම සාක්කිය වී ඇත්තේද මේ කේරළ ගංජා කිලෝ ග්‍රෑම් පනහක ප්‍රමාණය බව අධිකරණ නිලධාරියා විසින් පොලීසියට ප්‍රකාශ කොට තිබේ.
යාපනය තෙලිප්පලෙයි පොලීසියේ නිලධාරීන් පිරිසක් මල්ලාකම් අධිකරණ සංකීර්ණය වෙත ගොස් නඩු බඩු කාමරය පරීක්ෂා කොට එහි සේවය කරණ නිලධාරීන් කීප දෙනෙකුගෙන්ම ප්‍රකාශ ලබා ගෙන ඇත.
මේ සිද්ධිය සම්බන්ධයෙන් තෙලිප්පලෙයි පොලීසිය යාපනය නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයටද කරුණු වාර්තා කිරීමෙන් පසුව යාපනය නියෝජ්‍ය පොලිස්පති මංජුල සෙනරත්ගේ අධීක්ෂණය යටතේ වෙනම පරීක්ෂණයක් ආරම්භ කොට තිබේ.