ඩුබායි හි සැඟවී සිටියදී අත්අඩංගුවට ගැනුණු සංවිධානාත්මක අපරාධකරුවන් දෙදෙනෙකු සහ මුදල් වංචාවක විමර්ශන සදහා අවශ්‍යව සිටි කාන්තාවක් අද (16) දින අලුයම කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන එනු ලැබීය.
අද අලුයම 05.20ට පමණ ඩුබායි සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 226 දරන ගුවන් යානයෙන් ඔවුන් කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන විත් තිබුණේ දැඩි ආරක්ෂක විධි විධාන මධ්‍යයේය.
මෙසේ අත් අඩංගුවට ගෙන දිවයිනට රැගෙන විත් තිබුණේ ඇල්පිටිය ඌරගහ පදිංචිකරුවෙක් වූ රවීන් චමින්ද (52) නොහොත් පුංචා, කඳාන ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වු කිරිඇල්දෙණියගේ දොන් රසික සංජීව කුමාර නොහොත් චූටි මල්ලී සහ රත්මලාන ප්‍රදේශයේ පදිංචි 56 හැවිරිදි නිශාමනී ද සිල්වා නැමැති කාන්තාවකි.
“පුංචා” සහ ” චූටි මල්ලි” ලෙස අන්වර්ථ නාමයෙන් හඳුන්වන දෙදෙන මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීම, කප්පම් ගැනීම, මංකොල්ලකෑම් සහ මනුෂ්‍ය ඝාතන සදහා චෝදනා ලැබ රටතුළ ඉන්නට බැරි අවස්ථාවේ දී රටින් පැනගත් සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයන්ය.
රත්මලාන ප්‍රදේශයේ පදිංචි 56 හැවිරිදි නිශාමනී ද සිල්වා නැමැති කාන්තාව රජයේ මුදල් වංචා කිරීමක් සම්බන්ධ පොලිස් විමර්ශන සදහා අත්‍යාවශ්‍යව සිටි තැනැත්තියකි.
අද දින උදෑසන 06.50ට රවීන් චමින්ද හෙවත් පුංචා නැමැත්තා බස්නාහිර උතුර පෑලියගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන අංශයටත්, රසික සංජීව නොහොත් චූටි මල්ලි නැමැත්තා ඇල්පිටිය කොට්ඨාස අපරාධ විමර්ශන අංශයටත් නිශාමනී ද සිල්වා කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු මූලස්ථාන කාර්යාලය වෙතත් රැගෙන යෑමට පියවර ගෙන ඇත.







