ගෝෆේස් අරගලබිම ඕනෑම රස්තියාදුකාරයෙකුට වීරයෙක් විය හැකි තැනක් බවත්, මේ වනවිට එහි බෞද්ධ විරෝධී සටන් පාඨ නැගෙමින් ඇති බවත් ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ පවසයි.
ඔහු මේ බව ප්‍රකාශ කරන්නේ පසුගිය දා බත්තරමුල්ල ‘අපේ ගම’ පරිශ්‍රයේ පැවැති ජානිපෙ අධිරාජ්‍ය විරෝධී මැයි දින සැමරුමෙහි සැමරුම් දේශනය සිදුකරමිනි.
රටේ පවතින තත්වය සම්බන්ධව දීර්ඝ දේශපාලන විග්‍රහය යෙදෙන ඔහු මේ වනවිට අරගල කේන්ද්‍ර භූමිය වී ඇති ගාලුමුවදොර සම්බන්ධව අදහස් දක්වා තිබුණේ මේ ලෙසය.
“අද වැඩ කරන ජනතාවට වඩා මාර්ගයේ සටනේ ඉන්නේ මධ්‍යම පාන්තික ජනතාව. ඔවුන්ගේ සාමාන්‍ය ජීවන පැවැත්මට අද අභියෝගයක් එල්ල වී තිබෙනවා. අද ‘ගාලුමුවදොර අරගල බිම’ කියා එකක් තිබෙනවා. ඒ අරගල බිම තෙල් නැති නිසා, ගෑස් හිඟය නිසා, විදුලි කප්පාදුව නිසා කැඳවන ලද අරගල බිමක්.“
“නමුත් ඒ බිම එතැනින් නොනැවතී බෞද්ධ විරෝධී සටන් පාඨ ඔසවා තබන, බණ්ඩාරනායක මහත්තයාගේ ප්‍රතිමාවේ ඇස් කළු පටියකින් බැඳ දමන තැනක් බවට පත් වී තිබෙනවා. මේ අර්බුදය විසින් ඇති කොට තිබෙන විෂම තත්වය හේතුවෙන් ඇතමුන් එවැනි ක්‍රියාමාර්ග තෝරන තැනට පරිවර්තනය වෙමින් තිබෙනවා.“
“මේ අර්බුදය ඇතුළෙ ගෝල්ෆේස් අගලබිමේ අරගලකරුවකු වන එක මහා අමාරු දෙයක් නෙවෙයි. අරගල භූමියට ජාතික කොඩියක් අරගෙන ගිය පොලිස් නිලධාරියා ‘වික්‍රමාන්විත කතාවක්’ කරලා වීරයෙක් වුණා. පසුව බැලුවාම එයා ගංජා කිලෝග්‍රෑම් ගාණක් ප්‍රවාහනයට සම්බන්ධ, විනය විරෝධී චෝදනා තිබෙන ‘පොලීසියේ මාටියා අංශය’ භාර කෙනෙක්. “
“තවත් එහෙම වීරයන් වූ අය ඉන්නවා. සිත් රිදෙන නිසා මම ඒ පිළිබඳව සිහිපත් කරන්නේ නැහැ. ඕනේ රස්තියාදුකාරයකුට අද ගාලුමුවදොරට ගිහින් වීරයෙකු වෙන්න පුළුවන්. ගාලුමුවදොර සිටින බොහොම ප්‍රබුද්ධ තරුණ පිරිසට මේක අදාළ නැහැ. අර්බුදය ඇතුලේ අරගලකරුවකු වීම නොවෙයි අභියෝගය. රටත් රාජ්‍යයත් එම අර්බුදයෙන් එළියට එන විට වෙනස් මාවතක්, වෙනස් මිනිහෙක් නිර්මාණය වන තැනට ඒ අර්බුදය කළමනාකරණය කිරීමයි ඇත්ත අරගලය. සටන් පාඨ විතරක් තිබෙන අරගල, ඇත්ත අරගල නොවෙයි.“
“මෙහෙම යන්න දීලා බලන් හිටියොත් පාලන සුක්කානම නතර වෙන තැන කාටවත් තීරණය කරන්න බැහැ. අපි ඉන්නේ එහෙම අභියෝගයක් පාමුල. ආණ්ඩුවත් එක්ක තිබෙන ප්‍රශ්නය බේරාගන්න ගමන් රාජ්‍යය අරාජික වීමට ඉඩ නොදී, අර්බුදය අරාජිකත්වයේ තෝතැන්න බවට පත්වීමට ඉඩ නොදී, අර්බුදය මේ රට වැරදි ගමන් මාර්ගයෙන් එළියට ගෙන ඒමේ තෝතැන්න බවට පත්කර ගැනීමයි අද දවසේ සබුද්ධික දේශපාලන භූමිකාව වන්නේ. අද අපි පවරා ගෙන ඇත්තේ එම දේශපාලන භූමිකාවයි.







