ඇමරිකා එක්සත් ජනපදයේ වාසය කරන ශ්‍රී ලාංකිකයෝ මැයි 1 වනදා එරට නගර පනහකදී පමණ එක් රැස්ව ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට ඉල්ලා අස්වන ලෙස බල කෙරෙන උද්ඝෝෂණ පැවැත්වූහ.
රාජපක්ෂ පවුල් පාලනය විසින් ශ්‍රී ලංකාව අගාධයකට ඇද දමා ඇති බව චෝදනා කරන ඔව්හු රටේ ධනය සොරාකෑමෙන් රට බංකොලොත් කිරීමට එම පාලනය වගකිව යුතු බවට චෝදනා කළහ.
ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක විරෝධතාවන්ට සහය දැක්වීමේ අරමුණින් මෙන්ම ඇමරිකාව තුළ ශ්‍රී ලංකාවේ තත්ත්වය පිළිබඳ දැනුවත් කිරීමේ ද අරමුණ සහිතව මෙම උද්ඝෝෂණ පවත්වන ලද බව ඇමරිකාවේ ශ්‍රී ලාංකික ශිෂ්‍ය එකමුතුව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ ය. තවද, ශ්‍රී ලංකාවේ නිර්පාක්ෂික දේශපාලනමය ක්‍රම වෙනසක් සඳහා අදහස් දැක්වීම මෙන්ම ශ්‍රී ලංකාවට අත්‍යවශ්‍යව පවතින ඖෂධ සැපයීම සඳහා විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් විසින් සිදු කෙරෙන අරමුදල් රැස්කිරීමේ කටයුතුවලට සහය දීම පිළිබඳව ද මීට සමගාමීව කටයුතු කෙරෙන බව එම එකමුතුව පැවසීය.
මීට සමගාමීව ශ්‍රී ලංකාවේ තත්ත්වය පිළිබඳ මෙන්ම රාජපක්ෂ පවුලේ ක්‍රියාකාරකම් පිළිබඳව ද එරට ප්‍රාන්ත රාජ්‍ය ලේකම්වරුන් සහ සෙනට් සභිකයන් හා කොන්ග්‍රස් සභිකයන් දැනුවත් කිරීමේ වැඩපිළිවෙලක් ද ක්‍රියාත්මක විය. මේ අනුව රාජපක්ෂ පවුලේ සාමාජිකයන් සහ හිතවතුන් ඇමරිකාවේ මිලදී ගෙන ඇතැයි කියන දේපල සම්බන්ධව පරීක්ෂණ කිරීමට ඔවුන් වෙතින් ඉල්ලීම් කෙරිණ.