වර්තමානයේ ඇතිවන පෝෂණ ඌනතාවය හේතුවෙන් උසින් අඩු දරුවන් බිහිවීමේ අවදානමක් ඇතැයි ප්‍රවීන පෝෂණ විශේෂඥවරියක වන වෛද්‍ය රේණුකා ජයතිස්ස පවසයි. ඇය මේ බව සඳහන් කරන්නේ ‘නෙත්’ එෆ් එම් සමඟ සාකච්ඡාවකට එකතු වෙමිනි.
පවතින අධික ආහාර මිල සහ ආහාර පාන හිඟය හේතුවෙන් මේ වනවිට ශ්‍රි ලංකාවේ ඇතිවෙමන් පවතින ආහාර අර්බුදයේ තරම තවමත් රටේ ජනතාව තේරුම් ගෙන ඇති බවක් නොනෙන් බව පවසන ඇයය මෙම ආහාර භාවිතාව අඩුවීම පෝෂණය කෙරෙහි තීරණාත්මකව බලපාන බව සඳහන් කරයි.
ඇයට අනුව මෙම ආහාර අර්බුදය සමඟින් වයස් මට්ටම් පහක් ගැන විශේෂ අවධානයක් යොමු කළ යුතුය. ඒ ගැන වෛද්‍ය රේණුකා ජයතිස්ස සඳහන් කරන්නේ මෙලෙසිනි.
“පළමු වයස මට්ටම වයස අවුරුදු දෙකට අඩු. මෙම කාලයේදී තමයි ළමයින්ගේ මොළය ඉතා හොඳින් වර්ධනය වන්නේ. මේ නිසා අවශ්‍ය පෝෂණය නිසි ආකාරව මේ කාලයේදී ලබා දිය යුතුයි.
ඊළඟ මට්ටම වයස අවුරුදු පහේ වයස. දරුවන්ගේ මොළය සේම සිරුරේ වර්ධනය ද සිදුවන්නේ අවුරුදු 5ට අඩු මට්ටමේ දී. එබැවින් එම වයස් මට්ටමේ දරුවන්ගේ පෝෂණය ගැන ද අවධානය යොමු කළ යුතුයි.
වයස අවුරුදු 10 – 15 වයස් මට්ටමේ දරුවන්ගේ පෝෂණය සම්බන්ධයෙන් බොහෝ විට දෙමව්පියන් අමතක කරනවා. නමුත් නව යොවුන් වියේ දරුවන්ගේ වර්ධනයේ උපරිම තත්ත්වයට ගොස් ප්‍රජනන මට්ටම දක්වා හොඳම මට්ටමට පැමිණෙන්නේ මේ වයස් මට්ටමේදී යි. එම වයස් කාණ්ඩයේ දරුවන්ට නිසි පෝෂණයක් ලබා දිය යුතුමයි. එම පෝෂණය නිසි ලෙස නොලැබීමෙන් කොට පරම්පරාවක් බිහි විය හැකියි.
අපි මේ තත්වය 1970 දශකයේ අත් දුටුවා. ඒ කාලයේදීත් මෙවැනි ආහාර අර්බුදයක් තිබුණා. මේ කාලයේ වයස අවුරුදු 10 – 15 අතර සිටි දරුවන්ගේ වර්ධනය බාල වුණා.
1973 ඉපදුණු, යොවුන් විය ගත කරපු අයත් උස ගියේ නෑ. කොට පරම්පරාවක් ඇතිවීමෙන් රටේ ඵලදායිතාව අඩු වෙනවා. ඒක රටේ දියුණුවට බලපානවා..”
මෙම වයස් මට්ටම්වලට අමතරව ගර්භණී මව්වරුන් ගැනත් විශ්ෂ අවධානයක් යොමු කළ යුතුයි. අනෙක් වයස් කාණ්ඩය අවුරුදු 70ට වැඩි වැඩිහිටියන්. ඔවුන්ටත් ශරීරය හොඳ ප්‍රතිශක්තියකින් යුතුව පවත්වා ගැනීමට අවශ්‍ය පෝෂණය ලබා දිය යුතුයි. එසේ නැතහොත් ඔවුන් රෝගී විය හැකියි.
මේ ආර්ථික රටාව තුළ රෝගී වුණොත් එක අතකින් ඖෂධ හිගයි. අනෙක වැඩි වියදමක් දරන්න වෙනවා. ඒ කෙරෙහිත් අවධානය යොමු කළයුතු බව වෛද්‍යවරිය සඳහන් කළාය.
ආහාර අර්බුදයට විසඳුම් ලෙස රජයේ ආහාර හා සම්බන්ධ සියලු ආයතන දෙපාර්තමේන්තු එක්ව බහු ආර්ථික සැලැස්මක් සකස් කර ගත යුතු බවත් ජනතාවත් පෝෂණ ඌනතාවයක් ඇති නොවන අන්දමින් ආහාර සපයා ගැනීමට උනන්දු විය යුතු බවත් ඇය පැවසුවාය.
“රජයක් විදියට ඉදිරි මාස හයක ක්‍රියාකාරී සැලැස්මක් හදාගන්න ඕනේ. ආහාර එක්ක බැඳුණු දෙපාර්තමේන්තු ආයතන ගොඩක් තියෙනවා. එක එක ආයතනය මොකද කරන්නේ කියලා එක සැලැස්මකට එන්න ඕනේ. ඒ වගේම තමයි ජනතාව, අතේ තියෙන මුදල කළමණාකරණය කරගෙන ආහාර ගන්න ඕනේ. දරුවන්ගේ පෝෂණ අවශ්‍යතාවයන් සපුරගන්න පුළුවන් විදියට හාල්වලට වැඩි ඉඩක් දෙන්න ඕනේ. මොකද කාබෝහයිඩ්‍රේට් අවශ්‍යතාවය ඒකෙන් පිරිමැහෙනවා.
ප්‍රෝටීන් අඩංගු ආහාර ලබා ගැනීම තරමක් දුෂ්කර වුණත් කොහොම හරි මස්, මාලු, කරවල හෝ සෝයා වගේ දෙයක් කෑමට එකතු කර ගන්න බලන්න.
විශේෂම දේ පළා. ගෙදර මල් පෝච්චි පහක පළා වර්ග පහක් හිටෙව්වත් දවස් පහට කන්න වර්ග තියෙනවා. ඒ වගේම තමයි ලංකාවේ කියන දෙයක් තණකොළ ඇරෙන්න ඕනෑම කොල වර්ගයක් කනවා කියලා. ඉතිං පළා වර්යක් හොයාගන්න එක අපහසුවක් නෑ..
කොස්, දෙල්, මඤ්ඤොක්කා, බතල වගේ දේවල් ලංකාවේ ඕනේ තරම් තියෙනවා. බත්වල අවශ්‍යතාවය ඒ වගේ ආහාරයකින් අඩු වෙනවා. අවශ්‍ය පෝෂණයත් ලැබෙනවා…”







