ලබන 20 දා පැවැත්වෙන ජනාධිපතිවරයෙක් තෝරා ගැනීමේ ඡන්ද විමසීමට මේ වනවිට නම් 04ක යෝජනා වී ඇත.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක, 43 කණ්ඩායමේ නායක චම්පික රණවක යන අයගේ නම් ඒ සඳහා මේ වනවිට යෝජනා වී තිබේ.
උද්ගත වී ඇති අර්බුදකාරී තත්ත්වය මත නව සර්ව පාක්ෂික ආණ්ඩුවේ නව ජනාධිපතිවරයෙක් පත් කරගැනීම සඳහා පාර්ලිමේන්තුව කඳවා තීරණයක් ගත යුතු බවට අද පැවති පක්ෂ නායක රැස්වීමේ දී මූලික එකඟතාවය මත මෙම චන්ද විමසුම සිදුකරනු ලබයි.
ඒ අනුව ජනාධිපති ධුරය සඳහා ඉදිරිපත් වීමට කැමති තවත් මන්ත්‍රීවරුන් වෙත් නම් ඔවුන්ට ඒ සඳහා ඉදිරිපත් විය හැකිය. මෙම තෝරා ගැනීම සිදුවන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතරිනි. දැනට ඉදිරිපත් වී ඇති නීතිඥ සංගමයේ සභාපති සාලිය පීරිස් වැනි වෙනත් පුරවැසි යෝජනා සඳහා මේ අවස්ථාවේ දී ඉඩක් නැත. එසේ ඉදිරිපත් වෙනවා නම් අයෙක් ඉල්ලා අස් වී ජනාධිපති ධුරය අපේක්ෂා කරන පුද්ගලයා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස දිවුරුම් දිය යුතුය.
ජනාධිපති ධුර අපේක්ෂක මන්ත්‍රීවරුන්ට 19 වැනිදා අයදුම්පත් ඉදිරිපත් කළ හැකිය. අනතුරුව 20 වැනිදා රහස් ඡන්දයකින් නව ජනාධිපතිවරයා තෝරා ගැනීමට නියමිතව ඇත.
කෙසේ නමුත් මේ වනවිට උද්ගතවී ඇති තත්තවය සමග 13 වැනිදා වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉල්ලා අස්වන බව ප්‍රකාශ කර තිබේ.
එලෙස ඔහු ඉල්ලා අස්වීමෙන් පසු රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව මේ වනවිට සිටින අගමැතිවරයා වැඩ බලන ජනාධිපතිවරයා ලෙස පත් වීමට නියමිතය.
ඔහුගේ වැඩ බලන කාලය දින 10ක් වන අතර එම දින 10 තුළ පාර්ලිමේන්තුවේ ඡන්ද විමසීමකින් ජනාධිපතිවරයෙක් පත් කිරීමට ව්‍යවස්ථාව අනුව සලසා දී ඇති ප්‍රතිපාදන මත පදනම්ව ලබන 20 දා ජනාධිපතිවරයා තෝරා ගැනීමට කටයුතු කරනු ඇත.







