ජනාධිපති රටින් පිටවී සිටින බව මහින්ද යාපා අබේවර්ධන කතානායකවරයා අද ජාත්‍යාන්තර මාධ්‍ය ආයතනයක් වූ BBC ආයතනයට ප්‍රකාශ කළේය.
ඔහු BBC වෙත කියන්නේ ජනාධිපතිවරයා රටන් බැහැරව ආසන්න රටක සිටින බවත් 13 දා ඉල්ලා අස්වීම ප්‍රකාශ කරන්නට යළි රටට එන බවත්ය.
ඊට ස්වල්ප වෙලාවකට පසු කතානායකවරයා සිය ප්‍රකාශය වෙනස් කරගත්තේය. ඒ තවත් ජාත්‍යාන්තර මාධ්‍ය ආයතනයක් වන ANI (Asian News International) වෙත ප්‍රකාශයක් කරමිනි.
ඔහු දුරකථනයෙන් ANI වෙත සම්බන්ධ වී විස්තර කරන්නේ තමන්ට පැටලුණු බවය. ඒ පැටලීම නිසා ජනාධිපතිවරයා රටින් බැහැරව ගියේ යැයි පැවසූ බවය.
ජාත්‍යාන්තර මාධ්‍ය දෙකකට එක ලඟ අවස්ථා දෙකක රටේ තීරණාත්මක ප්‍රශ්නයක් පිළිබඳ කෙරෙන මේ ප්‍රකාශ දෙක හුදු අතපසුවීම් නම් ඒ භායනක අතපසුවීම්ය.
කාතානායකවරයා පළමුව බීබීසි ආයතනය වෙත කරන ප්‍රකාශය තුළ වචන පැටලෙන ආකාරයේ අතපසුවීමක ස්වරූපයක් පෙනෙන්නෙ නැත. ඔහු ජනපති රටින් ගිය කතාව අවධාරණය කරන්නේ යළි 13 ඔහු රටට එන බව කියමිනි. එක්කෝ මේ කිව්වේ ඇත්තකි. නැතිනම් සැලසුම් කළ බොරුවකි.
ඇත්තක් කීවත් සැලසුම් සහගත බොරුවක් කීවත් ඔහු ඉතා නරක වැරැද්දක් කර තිබිණි. එනම් ඒ ප්‍රකාශය හරහා රට බරපතල අනාරක්ෂිත තත්ත්වයකට පත් කිරීමය.
ජනාධිපතිවරයා රටේ ආරක්ෂක ඇමතිවරයා ය. ත්‍රිවිධ හමුදාවේ සේනාධි නායකයා ය. ඔහු රටින් බැහැරවන සෑම අවස්ථාවක දීම ආරක්ෂාව පිළිබඳ වගකීම ආවරණය කිරීමට අනුප්‍රාප්තිකයෙක් පත් කරන්නේය. මේ අවස්ථාවේ එවැන්නක් සිදුවී තිබුණේ ද?. එසේ නම් ඒ වගකීම පැවරුවේ කාටද?. ඒ ගැන පාර්ලිමේන්තුව දැනුම්වත් ද?. කතානායකවරයා ජනාධිපති රටේ නැති කතාව කියා රට පටලවන්නේ මෙවැනි පසුබිමකය.
ජනාධිපති සැඟවී සිටින, මන්ත්‍රීවරයෙකුට මගට බැසගන්නට බැරි වාතාවරණයක් තුළ රටේ ආරක්ෂක වගකිම විතැන් වී ඇති බවට කෙරෙන වගකීම් රහිත ප්‍රකාශත්, ඒ ප්‍රකාශ යලි ගිලගන්නට කරන විහිළු සහගත ගොං හැසිරීමත් කිසිම වගකිව යුතු ජාතික නායකයෙක් කරන්නේ නැත.
කෙසේ වෙතත් මේ නිවැරදි කිරීම ජාත්‍යාන්තරයට විහිළුවක් වී ඇති ආකාරය එම මාධ්‍ය වාර්තාවලින් පෙනේ.
රටම මරණයට පත් වෙමින් ඇති අවසන් මෙහොතේත් අපි ලෝකයට විහිළු සපයමින් සිටිමු. අගමැති හා ජනාධිපති ඉවත් කර රටේ තාවකාලික ජනාධිපතිකම දරන්නට යෝජනා කරන කතානායක පළවා හරිනු ලබූ ජනාධිපතිටත් වඩා අන්දරේ කෙනෙක් වීම රටේ දෛවය බව ලියා තැබිය යුතුය.








