ලලිත් චාමින්ද –
අයහපත් කාලගුණික තත්ත්වයත් සමග ගිංගඟ පහළ නිම්නය තුළ මහා ගංවතුර තත්ත්වයක් ඇතිවිමට ආසන්න වෙමින් ඇති බැව් ගිංගඟ වාරිමාර්ග ඉංජිනේරු කාර්යාලය පවසයි.
ගිංගඟ බද්දේගම ජලමාපකයේ ජල මට්ටම අද (03) පෙරවරු 6.30 පමණ වනවිට 4.74 දක්වා වැඩිවි ඇති බවද වාරිමාර්ග කාර්යාලය පවසයි.
මහා ගංවතුර තත්ත්වයක් ඇතිවිම සඳහා බද්දේගම ජලමාපකයේ ජල මට්ටම මිටර් 5.00 දක්වා වැඩි විය යුතු වන අතර දහවල් වන විට මහාගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බවට අනතුරු අඟවා ඇත.
ගිංගගේ ඉහළ නිම්නයේ ජල මට්ටම අඩුවෙමින් පවතින අතර ඒ සමග පහළ නිම්නයේ ජල මට්ටම වැඩිවෙමින් පවතින බවද ගිංගඟ වාරිමාර්ග ඉංජිනේරු කාර්යාලය පවසයි. ගිංගගේ තවලම ජලමාපකයේ ජල මට්ටම අද (03) උදැසන 6.30 වනවිට 6.50 දක්වා අඩුවි ඇත.
ගිංගග ඉහළ නිම්නයේ ජලය බැසයාමත් සමග නාගොඩ, බද්දේගම, අගලිය වැලිවිටිය දිවිතුර, යන ප්‍රදේශ වල පහත්බිම් සහ මහාමාර්ග ජලයෙන් යටවි ඇති බැව එම ප්‍රදේශවල ජනතාව පවසති.
බද්දේගම දොඩන්ගොඩ මාර්ගය, බද්දේගම උඩුගම පරණ මාර්ගය, වැලිවිටිය බද්දේගම මාර්ගය ඇතුළු මාර්ග රැසක් ජලයෙන් යටවි ඇත. එම මාර්ගවල ගමනාගමන කටයුතු ද ඇණහිට තිබේ.
මේ වනවිට නෙළුව, තවලම, බද්දේගම, වැලිවිටිය, නාගොඩ යන ප්‍ර දේශවලට ගංවතුරෙන් විපතට පත්වුවන් බේරාගැනිම සදහා සහන කණ්ඩායම් අටක් සමග බෝට්ටු අටක් යොදවා ඇති බව ආපදා කළමණාකරණ මධ්‍යස්ථානයේ ගාල්ල දිස්ත්‍රික් කාර්යාලය පවසයි.
ජලය බැසයාම සදහා මහමෝදර හා ගිංතොට මෝය කටවල් පුළුල්කොට ඇති බවද ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පවසයි.