කීර්ති ප්‍රනාන්දු –
මේ වනවිට උපරිම ධාරිතාවෙන් ක්‍රියාත්මක වෙමින් ඇති නොරොච්චෝල ගල් අඟුරු බලාගාරය සඳහා අවශ්‍ය ගල් අඟුරු දෙසැම්බර් 31 වනවිට අවසන් වීමට නියමිත බවත් නැවත ගල් අඟුරු නැවක් ලංකාවට පැමිණෙනු ඇත්තේ ජනවාරි 06ට ආසන්න දිනයක බවත් පවසන විදුලි ඉංජිනේරුවරු ජනවාරි මුල් දෙසතිය තුළ රට යළිත් බරපතල විදුලි අර්බුදයකට යා හැකි බවට පුරෝකථනය කරයි.
මේ වනවිට විදුලි ඉල්ලුමෙන් සියයට හැට පහකට වැඩි ප්‍රමාණයක් ජනනය වන්නේ තාප විදුලියෙන් බැවින් යම් හෙයකින් නොරොච්චෝල ගල් අඟුරු බලාගාරය අක්‍රීය වුවහොත් එම සැපයුම ජලවිදුලියෙන් ආවරණය කරගැනීම කළ නොහැකි බව මේ සම්බන්ධව ලංකාසරට අදහස් දක්වමින් විදුලි ඉංජිනේරු සංගමයේ සභාපති නිහාල් වීරරත්න පැවසුවේය.
ඔහු පෙන්වා දෙන්නේ මේ වනවිට ආරම්භ වී ඇත්තේ වර්ෂාපතනය නොලැබෙන කාලයක් බවය.
“ මේ වකවානුව ඇතුළෙ වර්ෂාව අඩු වෙනවා කියන එක අලුත් දෙයක් නෙමෙයි. මේ වනවිට නියං කාලෙ ඇවිත් තියෙන්නෙ. ඒ නිසා තමයි අපි නිතරම කිව්වෙ ගල්අඟුරු ටික ගෙන්නවා ගන්න කියලා.“
“දැන් අපි ක්‍රියාත්මක වෙන්නෙ විදුලි ඉල්ලුමෙන් සියයට 65ක් තාප විදුලියෙන්. සියයට 35ක් ජල විදුලිය, සුළං විදුලිය, සූර්ය බලශක්තියෙන් ලැබෙනවා. ජල විදුලි ජනනය අඩුවීමත් එක්ක එන්න එන්න තාප විදුලිය පැත්ත වැඩි වෙනවා.“
“ මේ වනවිට ගල් අඟුරු බලාගාරය උපරිම ධාරිතාවෙන් ක්‍රියාත්මක වෙනවා. ඒ තත්ත්වය තුළ දැනට ගොඩබාලා තියන ගල් අඟුරු දෙසැම්බර් 31 වෙනවිටට ඉවර වෙන්න නියමිතයි. ඊලඟ නැව එනනේ ජනවාරි හය වෙනිදා. ඒ එන නැවේ ගල් අඟුරු ගොඩබාලා බලාගාරය යන්න තවත් දින පහක් විතර ගතවෙනවා. ගල් අඟුරු නැති දවස් දහයකට ආසන්න කාලයක් ජනවාරි මුල ඇතිවෙන්න පුලුවන්. එහෙම අවදානමක් සහිතව නොරොච්චෝලෙ බලාගාරය වැහුනොත් විශාල ප්‍රශ්නයකට අපිට මුහුණ දෙන්න වේවි. “
“ නොරොච්චෝලෙ අක්‍රීය වුනොත් රටේ තියන සියලුම බලාගාර ටික උපරිමයෙන් ක්‍රියාත්මක වුනත්, විදුලි සැපයුම පූර්ණ කරන්න බැරි අර්බුදයක් එනවා. බොහෝ විට පැය හතරකට ආසන්න විදුලි කප්පාදුවකට යන්න වේවි. “
විදුලි ඉංජිනේරු සංගමයේ සභාපති නිහාල් වීරරත්න පැවසුවේය.







