අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගෙන ඇති දිනේෂ් ෂාෆ්ටර් ඝාතනය සම්බන්ධයෙන් ස්ථානීය පරික්ෂණ ආරම්භ කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන කණ්ඩායමක් අද (16) පෙරවරුවේ බොරැල්ල කනත්තට පැමිණියහ.
සිය පියා වන චන්ද්‍රා ෂාෆ්ටර් විසින් ගොඩනැගූ කීර්තිමත් ජනශක්ති සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂවරයෙක් වූ දිනේෂ් ෂාෆ්ටර් බොරැල්ල පොදු සුසාන භූමිය තුළ මෝටර් රථය තුළම අත්පා බැඳ, ගෙල සිරවී සිටියදී ඊයේ සවස සොයාගෙන තිබිණි.
ෂාෆ්ටර්ගේ කාර් රථය කාසල් රෝහල දෙසින් ඇති පිවිසුමෙන් කනත්ත තුළට ඇතුල් කර කනත්ත තුළ දී මෙම ඝාතනය සිදුකර ඇති බව මූලික පරීක්ෂණවලදී අනාවරණ වී තිබේ.
සොයා ගන්නා විටත් අසාධ්‍ය තත්ත්වයේ පසුවූ ෂාෆ්ටර් ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ රාත්‍රියේ මිය ගියේය.
දිනේෂ් ෂාෆ්ටර් ගේ ඝාතනය සම්බන්ධයෙන් මේ වනවිට නම් දැරූ හිටපු ඉංග්‍රීසි ක්‍රිකට් විස්තර විචාරකයකු සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ ආරම්භ කර ඇතැයි වාර්තා වේ.
ඉංග්‍රීසි බසින් ක්‍රිකට් විස්තර විචාරය පිළිබඳව ප්‍රකට බ්‍රයන් තෝමස් සහ දිනේෂ් ශාෆ්ටර් අතර රුපියල් බිලියන 1.43ක ගණුදෙනුවක් සම්බන්ධව ගැටුමක් මින් පෙර ඇති වී තිබිණි.
බ්‍රයන් තෝමස් එම මුදල වංචා කළ බව පවසමින් දිනේෂ් ෂාෆ්ටර් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කළ පැමිණිල්ලක්ට අනුව අධිකරණයේ විභාග වූ නඩුවක දි පසුගිය වසරේ පෙබරවාරි මස 11 වැනි දින බ්‍රයන් තෝමස් බන්ධනාගාරගත වූයේය.
කෙසේ වෙතත් බ්‍රයන් තෝමස් සම්බන්ධ සිද්ධිය සේම වෙනත් පැති කීපයක් පිළිබඳව විමර්ශන අංශවල අවධානය යොමු වී ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ආරංචිමාර්ග කියයි.
ඝාතනය කොන්ත්‍රාත්තුවක් මත සිදුවූයේ යැයි බැලූ බැල්මට පෙනෙන ආකාරයත් විමර්ශන අංශවල අවධානයට යොමු වී ඇත.