කොරෝනා වසංගතය පැවැති කාල සීමාවේ බලාත්මක කරන ලද අනිවාර්ය ආදාහන ප්‍රතිපත්තිය පිළිබදව මුස්ලිම් ප්‍රජාවගෙන් සමාව අයැද සිටින බව ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් සංවර්ධන ඇමැති ජීවන් තොන්ඩමන් පවසයි.
ගෝඨාභය රාජපක්ෂ රජය තුළ සිදුවූ එම සිදුවීම සම්බන්ධයෙන් විධිමත් ලෙස සමාව ඉල්ලා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරන බවද ඒ මහතා කීවේය.
ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් සංවර්ධන ඇමැති ජීවන් තොන්ඩමන් පසුගියදා 02 වැනිදා එම අදහස් පළකලේ හැටන් නගරයේ පැවති ඉෆ්තාර් රැස්වීමකදීය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමැති ජීවන් තොන්ඩමන් මෙසේද කීවේය.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා යටතේ පැවැති රජය මෙම බලහත්කාරය නිර්මාණය කරන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානය ඇතුළු විද්‍යාත්මක මත කිහිපයක් ප්‍රතික්ෂේප කරමින්. මෙම ප්‍රතිපත්තිය මෙහෙයවනු ලැබුවේ කොරෝනා වින්දිතයින් භූමදානය කිරීමෙන් ජල සැපයුම් දූෂිත විය හැකි බවට පවසමිනුයි. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ප්‍රවීණයන් විසින් මෙහෙයවන ලද අධ්‍යයනයකින් සහ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ජල තාක්ෂණ ඒකාබද්ධ පර්යේෂණ හා ප්‍රදර්ශන මධ්‍යස්ථානය විසින් කරන ලද නව විද්‍යාත්මක සොයා ගැනීම් මගින් පසුගිය රජයේ ස්ථාවරය දැන් අභියෝගයට ලක් කරමින් ප්‍රතික්ෂේප කර තියෙනවා. එය ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යාංශය යටතේ ඇති මධ්‍යස්ථානයක්. මේ පිළිබදව පර්යේෂණ කරන ලෙස ඇමැති ධූරය බාරගත් පසු මා උපදෙස් ලබා දුන්නා
පසුගිය 2021 අවුරුද්දේ අගෝස්තු සහ දෙසැම්බර් අතර සිදු කරන ලද මෙම පර්යේෂණයේ ප්‍රධාන අරමුණ වුනේ ජලය හරහා වෛරස් සම්ප්‍රේෂණය වීමේ අවදානම තක්සේරු කිරීමයි. ඒ වගේම ජල තාක්ෂණ ඒකාබද්ධ පර්යේෂණ හා ප්‍රදර්ශන මධ්‍යස්ථානය විසින් සිදු කරන ලද විස්තීරණ සමාලෝචන අධ්‍යයනයක් මගින් කොරෝනා-ආසාදිත සිරුරු මගින් භූගත ජලය අපවිත්‍ර වීම කෙරෙහි ඇති කරන බලපෑම විශ්ලේෂණය කළා.
මෙම වසරේ ප්‍රකාශයට පත් කරන ලද මෙම සමාලෝචනය මගින් නිගමනය කළේ වසංගතය අතරතුර නිසි ලෙස සිදු කරන ලද භූමදානයන් ගෙන් භූගත ජලය දූෂණය වීමේ අවදානමක් නොමැති බවයි.
මුද්‍රා තැබූ සිරුරු බෑග්වල බහා ගැඹුරින් භූමදානය කිරීම ඇතුළුව නිසි මිහිදන් කිරීමේ ක්‍රියා පටිපාටි මගින් පරිසර දූෂණය වීමේ ඕනෑම අවදානමක් ඵලදායී ලෙස අවම කර ගත හැකි බව අධ්‍යයනය අවධාරණය කර තිබෙනවා.
මේ පරීක්ෂණ වාර්තා අනුව එකල රජය ගෙන තිබූ ප්‍රතිපත්ති ගැන අපට කනස්සල්ලක් තියෙනවා. ඒ නිසා බලහත්කාරයෙන් ආදාහනය කිරීමේ ප්‍රතිපත්තියෙන් මුස්ලිම් ප්‍රජාවට සිදු වූ හානිය සම්බන්ධයෙන් රජයෙන් විධිමත් සමාව අයැදීම සඳහා කැබිනට් පත්‍රිකාවක් ළඟදීම ඉදිරිපත් කිරීමට කටයුතු කරනවා







