කොවිඩ් ආසාදිත රෝගීන් දහදෙනකු සඳහා හදිසි ප්‍රතිකාර ලෙස ඔක්සිජන් ලබා දීමට අවශ්‍ය පහසුකම් සැපයීමට රුපියල් මිලියන දෙකක් ලබා දෙන්නැයි මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මැති ඇමතිවරුන්ගෙන් කල ඉල්ලීම ඉටු වන බව නොදුටු අස්ගිරි පාර්ශවයේ නියෝජ්‍ය ලේඛකාධිකාරි නාරම්පනාවේ ආනන්ද හිමියෝ එම මුදල මහනුවර ව්‍යාපාරිකයෙකුගෙන් ඉල්ලා දී ඇතැයි වාර්තා වේ.
කොවිඩ් ව්‍යාප්ති පාලනය කිරීම සඳහාවන මෙහෙයුම් කමිටු විශේෂ රැස්වීම ඉකුත් මැයි 09 දා මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පැවති අතර එහිදී රෝහල් අධ්යක්ෂවරයා මේ බව මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මැති ඇමතිවරුන්ට කියා සිටි ප්‍රවෘත්තිය නියෝජ්‍ය ලේඛකාධිකාරී හිමියන් විසින් දැක මේ මැදිහත්වීම කළ බව මහනුවර ජාතික රෝහලේ වැඩබලන අධ්යක්ෂ වෛද්‍ය චන්දන විජේසිංහ පැවසීය.
ඒ අනුව එම ඔක්සිජන් සැපයුම් සහිත ඇදන් දහය සදහා මහනුවර ඉන්ද්‍රා ට්‍රේඩර්ස් අධිපතිවරයා මුදල් ලබා දුන් බවද , එම ඇඳන් අනිද්දා 19දා වන විට රෝගීන් වෙනුවෙන් ලබා දිය හැකි බවද වෛද්‍ය විජේසිංහ කීවේය.
වෛද්‍ය විජේසිංහ මෙම ඉල්ලීම කළ රැස්වීමෙහි ජනමාධ්‍ය ඇමති කෙහෙලිය රඹුක්වැල්ල, මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී (ජාතික ලයිස්තු – වියත්මග) මහාචාර්ය රංජිත් බණ්ඩාර, රාජ්‍ය ඇමති අනුරාධ ජයරත්න, මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහනුවර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති වසන්ත යාපා බණ්ඩාර, මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගුණතිලක රාජපක්ෂ, මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ( වියත්මග) උදයන කිරිඳිගොඩ, ඇතුළු දිසාපති, නගරාධිපති, පළාත් ප්‍රධාන ලේකම්, ඇතුළු සියලුම රාජ්‍ය ආයතන ප්‍රධානීන් සහභාගී වී සිටියේය.
පළාත් හයකින් මහනුවර ජාතික රෝහලට රෝගීන් පැමිණෙන බැවින් සෙසු සියළුම ප්‍රතිකාර ඒකක සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාමට සිදුව ඇති බවත්, සෙසු හදිසි ප්‍රතිකාර ඒකක සදහා කොවිඩ් ආසාදිත රෝගින් යොමු කළ නොහැකි බවත් අධ්යක්ෂවරයා කීය. එබැවින් සුදුසුම ක්‍රමවේදය වන්නේ කොවිඩ් ප්‍රතිකාර ඒකකයේ ඔක්සිජන් ලබා දීම සදහා ඇඳන් දහයක් ස්ථාපිත කිරීම බවද හෙතම කීය.