ශ්‍රියානි විජේසිංහ
කෘෂිකර්ම අමාත්‍යාංශයේ අතිරේක මාණ්ඩලික නිලධාරින් සියලු දෙනා කඩිනමින් වෙනත් ආයතන වෙත අනුයුක්ත කරන්නැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම්වරයාට දැනුම් දී ඇත.
විශේෂයෙන් දීර්ඝ කාලයක් පුරා කෘෂිකර්ම අමාත්‍යාංශයේ රැඳෙමින් කටයුතු කරන අතිරේක ලේකම්වරියක් ඇතුලු අංශ ගණනාවක නිලධාරින් වෙනත් ආයතන සඳහා අනුයුක්ත කිරීමට නියමිතය.
මේ වනවිට කෘෂිකර්ම අමාත්‍යාංශය යනු එක් කැබිනට් අමාත්‍යවරයෙක් හා රාජ්‍ය අමාත්‍යවරුන් දෙදෙනෙක් මෙන්ම එකම ලේකම්වරයෙක් යටතේ පාලනය වන අමාත්‍යාංශයකි.
නමුත් මීට පෙර පැවැති ආකාරය අනුව පොහොර රාජ්‍ය අමාත්‍යාංශය, පශු සම්පත් රාජ්‍ය අමාත්‍යාංශය හා කෘෂිකර්ම අමාත්‍යාංශය වශයෙන් පැවතුන අතර වර්තමානයේ තනි අමාත්‍යාංශයක් ලෙස පැවතියත් තවමත් මින් පෙර පැවැති ආකාරයටම අමාත්‍යාංශ සඳහා වෙනම ම පත් කළ නිලධාරින් සේවයේ යෙදී සිටිති.
ඒ අනුව මේ වනවිට එකම අමාත්‍යාංශය තුළ සංවර්ධන අංශ 03ක්, පාලන අංශ 03ක්, ගිණුම් අංශ 03ක්, ප්‍රවාහන අංශ 03ක්, වශයෙන් පවතින අතර නිලධාරින් විශාල පිරිසක් රාජකාරි නොමැතිව සිටින ඇමතිවරයා පෙන්වාදේ.
එමෙන්ම ප්‍රධාන මුල්‍ය නිලධාරිට අමතරව ප්‍රධාන ගණකාධිකාරි ලෙස ද, ඉහත සඳහන් කළ එක් අංශයකට තනතුරු දෙකක් බැගින් පත් කර තිබේ. එමෙන්ම කළින් පැවැති අමාත්‍යාංශවලට පත් කරන ලද අතිරේක ලේකම් (පාලන), අතිරේක ලේකම් (සංවර්ධන) අතිරේක ලේකම් (කෘෂි තාක්ෂණ), අතිරේක ලේකම් (ව්‍යාපෘති) වශයෙන් ද තනතුරු රැසක් හා ඒ සියලු දෙනාටම වාහන ද සපයා තිබේ.
එමනිසා එක් ව්‍යුහයක් ලෙස කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ සියලුම අංශ පාලනය කිරීමට හැකියාව තිබිය දී මේ ආකාරයට තවදුරටත් පවත්වා ගෙන යාම රජයේ රාජ්‍ය වියදම් කළමනාකරණ ප්‍රතිපත්තියට ද පටහැණි කාරණයක් බව පෙනි ගොස් ඇතැයි අමාත්‍යංශ ආරංචි මාර්ග කියයි.
විශේෂයෙන් මෙම කටයුතු පාලනය කර ගැනීම මගින් ඉන්ධන, වාහන නඩත්තු, වැටුප් හා දීමනා යන සඳහා වියදම් අවම කර ගැනීමට හැකි බව අමාත්‍යවරයා පෙන්වා දී තිබේ.
එමෙන්ම මේ ආකාරයට එකී ආයතන පවත්වා ගැනීමෙන් කෘෂිකර්ම අමාත්‍යාංශය පිහිටි ගොඩනැගිල්ලේ ඉඩකඩ සැපයීමට හැකියාව තිබිය දී තවත් වැදගත් අංශ ගණනාවක් බදු පදනම යටතේ ගත් ගොඩනැගිලිවල පවත්වාගෙන යාම මගින් ද රජයට විශාල අලාභයක් සිදු වේ. ගොවිජන රක්ෂණ මණ්ඩලය, කෘෂිකර්ම නවීකරණ ව්‍යාපෘතිය උදාහරණ දෙකකි.







