ලෝකයේ මිල අඩුම බිත්තර ඉන්කියුබේටරය නිර්මාණය කිරීමට ඉන්දියාවේ අනත්නාග් ප්‍රාන්තයේ මර්හාමාහි පදිංචි 16 හැවිරිදි ගෝහාර් අහමඩ් තන්ත්‍රේ සමත් වී තිබේ. සාමාන්‍යයෙන් වෙළෙඳපොළේ ඇති ඉන්කියුබේටරයක් රුපියල් 50 000ත් 80 000ත් හෝ ඊට වැඩි මුදලකට අලෙවි කරනු ලබයි. එහෙත් තන්ත්‍රේ ගේ නිර්මාණය රුපියල් 3000ක තරම් අඩු මුදලකට අලෙවි කළ හැකි බව ඔහු පවසයි. එලෙසම මෙහි එක් වරකට බිත්තර 400ක් පමණ රැක්කවිය හැකි බව ද ඔහු පවසයි.
“ඉක්මණින්ම මගේ නිර්මාණය වෙළෙඳපොළට එනවා. කුකුළු කර්මාන්තයට ප්‍රතිලාභ ලැබෙන පරිදි මහා පරිමාණෙන් නිෂ්පාදන කටයුතු මේ වෙද්දී කර ගෙන යනවා.. වෙළෙඳපොළේ අලෙවි කරන්න තරම් ප්‍රමාණවත් ඉන්කියුබේටර නිර්මාණය කරන නිසා මම ගොඩක් කාර්යබහුලයි..’ ඔහු ‘ද කාශ්මීර් මොනිටර්’ වෙබ් අඩවියට පවසා තිබේ.
කුකුළු කර්මාන්තය වෙනුවෙන් ඔහු මෙම නිර්මාණය කිරීම ආරම්භ කර ඇත්තේ ඔහු 8 වැනි ශ්‍රේණියේ සිටියදීය. එහෙත් වරින් වර සිදු වෙන විදුලි විසන්ධි වීම් හේතුවෙන් සේම තවත් විවිධ හේතුවෙන් නිර්මාණය සාර්ථක කර ගැනීමට ඔහු අසමත් වී තිබෙන අතර පසුගිය වසරේදී එම නිර්මාණය සාර්ථකව අවසන් කර ගැනීමට සමත් වී ඇත.
“මට මගේ පාසැලෙන් ලොකු සහයෝගයක් ලබා දුන්නා.. බිත්තර රක්කවද්දී එකම උෂ්ණත්වයක් පවත්වාගෙන යන්න ඕනේ.. පාසැලේ විදුලි විසන්ධි වීමක් නොවෙන්න හැමතිස්සෙම වග බලාගත්තා.. පාඨමාලාවේදී මම ඉගෙන ගත්ත දැනුම නිර්මාණයට භාවිතා කළා. මම ඉන්කියුබේටරයේ තැන්පත් කරපු සියලුම බිත්තරවලින් පැටවුන් ලබා ගන්න පුළුවන් වුණා.. මගේ නවෝත්පාදනය සාර්ථක වුණා කියලා මම එදා දැන ගත්තා..”