ශ්‍රියානි විජේසිංහ –
යාල වනෝද්‍යානයට එන දෙස් විදෙස් සංචාරකයින්ට දිවා කාලයේ විවේක ගැනීම සඳහා වෙනමම විවේක ස්ථානයක් (Resting Place) ඉදි කිරීමට තීරණය කර ඇත.
එම කාලය තුළ දෙස් විදෙස් සංචාරකයින්ට ආහාර පාන මෙන්ම වෙනත් අධ්‍යාපනික වැඩ සටහන්වලට සහභාගි වීමේ පහසුකම් සැලසීම සඳහා විවේක පරිශ්‍රයක් ඉදි කරන්නැයි කෘෂිකර්ම වනජීවි හා වනසම්පත් අමාත්‍යාංශය මහින්ද අමරවීර වනජීවි අධ්‍යක්ෂ ජනරාල් චන්දන සූරිය බණ්ඩාරට උපදෙස් දී ඇත .
යාල වනෝද්‍යානයේ වන සතුන් නැරඹීම සඳහා දෛනිකව වාහන 400කින් පමණ දෙස් විදෙස් සංචාරක පිරිස් පැමිණෙති. මෙම දෙස් විදෙස් සංචාරකයින්ට වනාන්තරයට අයත් කළාපවල සංචාරය කරන අතර තුර දිවාකාලයේ විවේක ගැනීම සඳහා මෙතෙක් පහසුකම් සහිත සුදුසු ස්ථානයක් නොවීය.
විශේෂයෙන් මධ්‍යහ්න 12 සිට පස්වරු 02 දක්වා පැය දෙකක කාලයක් වනාන්තරය තුළ සැරිසැරීමට ඉඩ නොලැබේ. වනසතුන්ට හිරිහැරයක් වන බැවින් එම කාලය තුළ වාහන විවිධ ස්ථානවල නවත්වා ගෙන සිටීම මෙතෙක් සිදුවිය.
ඒ අනුව යාල වනොද්‍යානයේ මුහුද අසල බිම් තීරුවක් දෙස් විදෙස් සංචාරකයින්ට විවේක ගැනීම සඳහා සකස් කිරීම මේ දිනවල සිදු කෙරේ.
යාල වනාන්තරයේ පට්ටනංගල Block B කොටසේ මෙම විවේක පරිශ්‍රය සඳහා වෙන් කර ඇති අතර වාහන 200ක් පමණ එහි නැවැත්වීමට අවශ්‍ය පහසුකම් සැළසේ.
වන සතුන්ට සහ වෘක්ෂලතාවලට හානියක් නොවන අයුරින් මෙම විවේක ස්ථානය ඉදි කිරීමට කටයුතු කර ඇති අතර එහි සංචාරකයින්ට අවශ්‍ය ආහාර පාන මෙන්ම ශ්‍රී ලංකාවේ වන සතුන් හා වෘක්ෂලතා සම්බන්ධව සංචාරකයින් දැනුම්වත් කිරීමේ වැඩ සටහන් ආරම්භ කිරීමට නියමිතය.
මේ සඳහා වනජීවි දෙපාර්තමේන්තුව විසින් වැය කිරීමට යෝජිත මුදල රුපියල් මිලියන 56කි.
ඉදිරි කාලය තුළ ශ්‍රී ලංකාවට පෙර මෙන් සංචාරකයින් නැවත පැමිණෙන බැවින් විශේෂයෙන් අප රටේ අභයභූමි ආශ්‍රිතව ඔවුන්ට ලබා දිය හැකි පහසුකම් වැඩි කිරීමටත්, ආකර්ශනීය සේවාවන් ලබා දීමට කටයුතු කරන ලෙසත් අමාත්‍යවරයා වනජීවි නිලධාරින්ට උපදෙස් දී තිබේ..







