ශ්‍රියානි විජේසිංහ –
කුරුණෑගල ශික්ෂණ රෝහලේ රුධිර කාන්දු පෙරණ ඒකකයේ රෝගීන් පිරිසක් මරණයට පත්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා විශේෂඥවරුන් පස්දෙනෙකුගෙන් යුත් කමිටුවක් පත් කළ බව සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල සඳහන් කරයි.
මෙම කමිටුවේ ප්‍රධානියා ලෙස වසංගත රෝග විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ පත්කර ඇති අතර වයිරස් රෝග විශේෂඥ වෛද්‍යවරයෙක්, රුධිර අංශයට සම්බන්ධ විශේෂඥ වෛද්‍යවරයෙක් ඇතුළු විශේෂඥ වෛද්‍යවරුන් පස් දෙනෙකුගෙන් කමිටුව සමන්විත වන බව හෙතෙම පැවසුවේය.
ශික්‍ෂණ රෝහලේ රුධිර කාන්දුක පෙපෙට ලක් කරන රෝගීන් දිස්ත්‍රික්කයේ වෙනත් රෝහල් වෙත මාරු කර යැවීමට මේ වන විටත් කටයුතු යොදා ඇතැයි ද ඒ අනුව නිකවැරටිය, පොල් පිතිගම , දඹදෙණිය , කුලියාපිටිය ආදී රෝහල් වෙතින් ඔවුන්ට එම සේවාව ලබාදෙනු ඇති බවද සෞඛ්‍ය ලේකම්වරයා පැවසුවේය.
එම රෝහල් වෙත යන රෝගීන්ට ශික්ෂණ රෝහල මගින් ප්‍රවාහන පහසුකම් ලබා දීමටද කටයුතු යොදා ඇතැයි ඔහු සඳහන් කළේය.
රුධිර කාන්දු පෙරණයට ලක් කළ රෝගීන්ගේ මරණවලට හේතුව කුමක්ද යන්න පිළිබඳව සොයාබැලීමට පත්කළ කමිටු වාර්තාව හැකි ඉක්මනින් ලබා ගැනීමට බලාපොරොත්තු වන බවද වෛද්‍ය මහීපාල අවධාරණය කළේය







