මනම්පිටිය නිමල් ජයරත්න-
පොලොන්නරුව වැලිකන්ද කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රැඳවින් දෙපිරිසක් අතර ඊයේ (06) රාත්‍රි 10 ට පමණ ඇති වු ගැටුමක් අතරතුර එහි සිටි රැඳවියන් පිරිසක් පලා ගොස් ඇති බව වැලිකන්ද පොලිසිය කියයි.
වැලිකන්ද පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ හමුදා නිලධාරීයෙකු පැවසුවේ හටගත් එම ගැටුමෙන් වාහන හා දේපල වලට දැඩි අලාභ හානි සිදු වී ඇති බවය.
මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වුවන් අධිකරණ නියෝග අනුව පලමු වසරක කාලයක් මෙහි උපදේශන වැඩසටහන්වලට යොමු කරන අතර සිද්ධිය වන විට රැඳවියන් 540 ක පමණ පිරිසක් සිට ඇත. ඉන් 100 ක පමණ පිරිසක් පැන ගොස් ඇති බවද හමුදා නිලධාරීයෙකු කීය.
මෙම සිද්ධියත් සමග කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානය හා ඒ අවට වැලිකන්ද හා යුද හමුදාව මගින් ආරක්ෂාව තර කර තිබිණි.
තත්ත්වය පාලනය කිරීමට අරලගංවිල ,මනම්පිටිය ,වැලිකන්ද ,හිගුරක්ගොඩ, පුලස්තිගම. යන පොලිස් ස්ථාන වලින් පොලිස් නිලධාරීන් ද, යුද හමුදාව ද කැඳවූ බව වැලිකන්ද පොලිසිය කීවේය.
පොලොන්නරුව ජේෂ්ඨ පොලිස් අධිකාරි ඉන්දික ද සිල්වා ගේ හා සහකාර පොලිස් අධිකාරි නිශාන්ත රත්නපාල ගේ මෙහෙයවීමෙන් විශේෂ පොලිස් කණ්ඩායමක් යොදවා පලා ගිය රැඳවියන් අත් අඩංගුවට ගැනීමට මෙහෙයුමක් අරඹා තිබේ.







