කීර්ති ප්‍රනාන්දු –
-
එක් කපුවෙක් කතරගම රෝහලේ… අනෙක් කපුවා අත් අඩංගුවට ගෙන තිස්සමහාරාම අධිකරණයට ඉදිරිපත් කර ඇප මත නිදහස්….
කතරගම දෙවි හාමුදුරුවන් පුදනු රිසිව ජූජා වට්ටි මත තබා බැතිමතුන් පූජා කරන පඬුරු මුදල් බෙදා ගත නොහැකිව කපු පරපුරු දෙකක කපුවන් ගුටි බැට හුවමාරු කරගැනීම නිසා එක් කපු පරපුරක කපුවෙක් රෝහල්ගත කර ඇති අතර අනෙක් කපු පරපුරේ කපුවා පොලිස් අත් අඩංගුවට ගෙන තිස්සමහාරාම අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රුපියල් ලක්ෂ 05ක ශරීර ඇපයක් මත මුදා හැර තිබේ.
වාර්තාවන පරිදි සිද්ධිය මෙසේය.
කතරගම මහ දේවාලයේ තේවාව භාර කපු පරපුරු 03කි. ඒ පරාජපක්ෂ, රත්නායක, සහ මුණසිංහ කපු පරපුරුවලය. සම්ප්රදාය හා නිතිය අනුව කතරගම මහා දේවාලයට ලැබෙන පඬුරු මුදල් කපු පරපුරු අතරේ බෙදා දෙන්නේ බස්නායක නිලමේවරයාගේ මැදිහත් වීමෙනි. එහෙත් එම සම්ප්රදාය උල්ලංඝණය කරමින් බස්නායක නිලමේවරයාගේ බලය කපුවන් විසින් අත් පත් කරගත්තේ මීට ටික කලකට පෙරය.
කතරගම මහ පෙරහර වකවානුවේ දී කතරගම දේවාලයට ලැබෙන පඬුරු මුදල් වැඩිවීම සාමාන්‍ය රටාවය. මො කාලයේ දී මහා දේවාලයට ලැබෙන විශාල ආදායම බෙදා ගත නොහැකිව කපුවන් අතර ගැටුම් ඇති වීම මෑත ඉතිහාසයේ සිට දක්නට තිබිණි.
ඒ පිළිකුල් සහගත ඉතිහාසය යළිත් පෙන්වමින් රත්නායක කපු පරපුර සහ පරාපක්ෂ කපු පරපුර අතර පසුවන 30වැනිදා ගැටුමක් ඇති වී තිබිණි. සිදුවුන බැනවැදීම්, තර්ජනය කිරීම්, බියවැද්දීම් මාලාවකින් අනතුරුව මේ ගැටුම පුපුරා ගිය බව කතරගම මහා දේවාලයේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.
තේවාව භාර අරාපක්ෂ කපු පරපුරේ ගයාන් අරාපක්ෂ විසින් තමන්ට පහර දුන බව කියමින් රත්නායක කපු පරපුරේ උපුල් රත්නායක කතරගම රෝහලට ඇතුළත් වී තිබිණි. අනතුරුව මෙම පහරදීම පිළිබඳ උපුල් රත්නායක කතරගම පොලිසියටත් පැමිණිල්ලක් කළේය.
ඒ අනුව පහර දීමේ චෝදනාවට ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා ගයාන් අරාපක්ෂ කපුවා ඊයේ කතරගම පොලිසියට ගෙන්වා තිබිණි. පොලිසිය ප්‍රකාශ සටහන් කරගෙන ඔහුව තිස්සමහාරාම මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂ 05ක ශරීර ඇපයක් මත නිදහස් කිරීමට අධිකරණය නියෝග කර තිබේ.
මේ තත්ත්වය මත මෙවර පෙරහරේ ආර්ක්ෂාව වඩාත් තර කිරීමටත් කපු පරපුරු දෙක අතර ඇති වී තිබෙන මෙම ගැටුම සම්බන්ධව අවධානයෙන් සිටීමටත් පොලිසියට උපදෙස් ලැබී ඇතැයි වාර්තා වේ.
මේ අමතර පොලිස් ආරක්ෂාව තුළ යම් ගැටුමක් පාලනය කර ගත නොහැකි වුවහොත් හමුදාවේ සහාය ලබා ගැනීමට පොලිසිය සැලසුම් කර ඇත.
මේ පිළිබඳ කතරගම බස්නායක නිලමේ ඩිෂාන් ගුණසේකර පැවසුවේ මේ තත්ත්වය සම්බන්ධව තමන් කතා කිරීමට අකමැති බවය. බැතිමතුන් මහත් වූ භක්තියෙන් කතරගම දෙවි හාමුදුරුවන්වහන්සේ වෙත පූජා කරන පඬුරු සඳහා මේ ආකාරයට කපුවන් කා කොටාගැනීම හරිම අශෝබන සහ හරිම සිරිකිත බව නිලමේවරයා අවධාරණය කර කියා සිටියේය