දිනසේන රතුගමගේ –
එල්.ටී.ටී.ඊ.සාමාජිකයින් සතු ටී.එන්.ටී.පුපුරණ ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 24 ක්, පී.ඊ.1 වර්ගයේ පුපුරණ ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 5 ක් පුද්ගල නාශක බෝම්බ කොටස් 148 ක් ඩෙටනේටර් 22 ක් ඇතුලු පුපුරණ ද්‍රව්‍ය රැසක් ලඟ තබා ගෙන සිටි පුද්ගලයෙකු වවුනියාව නෙඩුන්කේණී පොලීසිය හා යුද හමුදාව විසින් 17 දා අත් අඩංගුවට ගෙන තිබේ.
යුද හමුදාවට ලැබුණු තොරතුරක් මත නෙඩුන්කේණී සේනපිලව් ප්‍රදේශයේ ඔහු විසින් කුළියට ගත් නිවසක් පරීක්ෂා කිරීමේදී මේ ද්‍රව්‍ය හමු වී තිබේ.
සැකකරු යාපනයේ ස්ථිර පදිංචිකරුවකුවන අතර මේ නිවස කුළියට ගෙන එම නිවසේම තවත් අයෙකු සමග ජීවත් වී තිබේ.
යුද හමුදාව සැකකරන්නේ එල්.ටී.ටී.ඊ.සංවිධානය සතු මෙම පුපුරණ ද්‍රව්‍ය ඔහු සන්තකයේ තබා ගෙන වෙනත් අයට ලබා දෙන්නට ඇති බවයි.
යාපනයෙන් නෙඩුන්කේණි ප්‍රදේශයට පැමිණි මොහු දැනට උතුරේ බිම්බෝම්බ ඉවත් කරණ ජාත්‍යන්තර සංවිධානයක සේවයට එක් වී ඇති අතර පොලිස් ත්‍රස්ත මර්දන ඒකකය සැකකරන්නේ ඔහු එසේ කරණ ලද්දේ එල්.ටී.ටී.ඊ .සාමාජිකයින් සතු පුපුරණ ද්‍රව්‍ය හා බෝම්බ ආරක්ෂා කිරීමේ චේතනාවෙන් විය හැකි බවයි.
මෙම සැකකරු හෝ ඔහුගේ ඥාතීන් එල්.ටී.ටී.ඊ.සංවිධානය සමග සබදකම් පවත්වා ඇත්දැයි යන්න පිළිබදව ත්‍රස්ත මර්දන ඒකකය පරීක්ෂණ ආරම්භ කොට ඇති අතර තවත් ආරක්ෂක නිලධාරීන් පිරිසක් ඔහුගේ නිවසට ගොස් හමු වූ පුපුරණ ද්‍රව්‍ය හා බෝම්බ වලට වඩා තවත් ද්‍රව්‍ය ඇත්දැයි සෙවීමේ කටයුතු ආරම්භ කොට තිබේ.
නෙඩුන්කේණියේදී අත් අඩංගුවට ගත් එම පුද්ගලයා මේ වන විට වවුනියාව පොලීසියේ ත්‍රස්ත මර්දන ඒකකය වෙත බාර දී ඇති අතර එහි නිලධාරින් ඔහුගෙන් ප්‍රශ්න කරගෙන යයි.