මෙතෙක් සිදුවූ විශාලතම මුහුදු පරිසර හානිය ලෙසින් සැලකෙන එක්ස්ප්‍රස් පර්ල් නෞකා අනතුර සම්බන්ධයෙන් වන්දි ලබා ගැනීමේ නඩුව සිංගප්පූරුවේ ගොනු කිරීමට අදාළ පියවර කඩිනමින් ගන්නා බව නීතිපති සංජය රාජරත්නම් පවසයි.
සන්ඩේ ටයිම්ස් පුවත්පත සමඟ මේ බව අනාවරණය කර ඇති නීතිපතිවරයා තවදුරටත් පවසා ඇත්තේ ඔස්ට්‍රේලියානු නීති විශේෂඥයින්ගෙන්ද සමන්විත සිංගප්පූරු නීති ආයතනයක් සමඟ එක්ව මෙම නඩු පැවරීමේ ක්‍රියාවලිය සිදු කිරීමට අවශ්‍ය පියවර ගෙන ඇති බවයි.
සිංගප්පූරුව මෙවැනි සාගරය සම්බන්ධ නීති ක්‍රියාවලීන් සඳහා ඉතා සුදුසු ස්ථානයක් ලෙස සැලකෙන අතර එවැනි රටක මෙම නීති ක්‍රියාවලිය සිදු කිරීමෙන් ශ්‍රි ලංකාවට උපරිම වාසියක් ලබා ගත හැකි වනු ඇතයි ද නීතිපතිවරයා තවදුරටත් පුවත් පත වෙත ප්‍රකාශ කර තිබේ.
2021 වසරේ මැයි මාසයේදී කොළඹ වරාය ආසනන්යේදී රසායනික ද්‍රව්‍ය තොගයක් සමඟ ගිනිබත් වූ මෙම නෞකාව හේතුවෙන් ශ්‍රි ලංකාව ආශ්‍රිත සාගර කලාපය දැඩි දූෂණයට ලක්වූ අතර එය මෙතෙක් මෙම කලාපයේ වාර්තා වූ දැවැන්තම සාගර කලාපීය අනතුර ලෙසින් සැලකෙයි.
එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ හිමිකාර සමාගම ඇතුළු ඊට සම්බන්ධ පාර්ශ්ව සිංගප්පූරුවේ සිට ක්‍රියාත්මක වන බැවින් මෙම නඩුවෙන් ලැබෙන ප්‍රතිඵලය ඔවුන්ට එරෙහිව ක්‍රියාත්මක කිරීමට වඩාත් සුදුසු වන්නේ සිංගප්පූරුව බවද ඔහු සඳහන් කර තිබේ.
ශ්‍රි ලංකාවේ විද්වතුන් රැසකගේ සහභගීත්වයෙන් මෙම අනතුර පිළිබඳව අංගසම්පූර්ණ විශ්ලේෂණයක් සිදු කොට හානි ගණනය කර ඇති අතර එය ඩොලර් බිලියන 6.2ක් ලෙස සඳහන් වේ.
මෙම මුදල ලබා ගැනීම සඳහා නිති පියවර ගැනීම වසර දෙකක් තුළ සිදු කළ යුතු වුවද මෙතෙක් ඊට අදාළ සාධනීය පියවර නොගැනීම සම්බන්ධයෙන් පරිසරවේදීන්ගෙන් චෝදනා එල්ල විය.







