ශ්‍රියානි විජේසිංහ –
-
මහ කන්නය අසාර්ථක වුවහොත් ඉන්දියාවෙන්වත් සහල් ගන්න බෑ… තියෙන තැනකින් සහල් ගන්නත් රටට සල්ලි නෑ… හැකි සෑම තැනම ආහාර භෝග වවන්නැයි කෘෂිකර්ම ඇමති රටෙන් ඉල්ලයි….
නියඟය නිසා ඉදිරි මහ කන්නය අසාර්ථක වුවහොත් දැඩි ආහාර හිඟයක් ඇතිවීම් අවදානමක් ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර සඳහන් කරයි.
මෙම අර්බුදයට මුහුණ දීමට වගා කළ හැකි සෑම ස්ථානයකම කුමක් හෝ ආහාර බෝගයක් වගා කිරීමට පියවර ගන්නැයි ඇමතිවරයා ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.
වී අලෙවි මණ්ඩලය වී මිල දී නොගත් බැවින් හදිසි අවශ්‍යතාවයකට ලබා ගැනීමට වී තොග ද රජය සතුව නොමැති පසුබිමක ඉදිරි කාලයේ රටේ මිනිස්සු ආහාර හිඟයට කෙසේ මුහුණ දෙයිදැයි සිතාගත නොහැකි යැයිද ඇමතිවරයා අනතුරු අඟවා සිටියි.
දැවැන්ත නියඟයක් හා ආහාර හිඟයක් සම්බන්ධව මුලු ලෝකයම අනතුරු අඟවා තිබෙන බවත් මෙහි ප්‍රතිපලයක් ලෙස ඉන්දීය රජය පසුගිය සතියේ සිට සහල් අපනයනය නවතා දමා ඇති බවත් ඇමතිවයා කියයි. දැන් රටට ඉන්දියාවෙන් සහල් ලබා ගැනීමේ හැකියාවක් නොමැති බවද ඇමතිවරයා පෙන්වා දෙයි.
කෙසේ නමුත් සහල් තිබුණද සහල් ආනයනය කිරීමට මුදල් නොමැති බවද ඇමතිවරයා පවසා සිටියි.
කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට අවශ්‍ය තාක්ෂණය, දැනුම, ඥානය, පහසුකම් සියල්ල තිබෙන බැවින් තිරසර කෘෂිකාර්මික සංවර්ධන වැඩසටහන් ආරම්භ කිරීමට අවශ්‍ය සාකච්ඡා ලබන සතියේදී ආරම්භ කරන බවද ඇමති මහින්ද අමරවීර පවසා සිටියි.







