මනම්පිටිය නිමල් ජයරත්න
මඩකලපුව වාලච්චේන රිදීතැන්න ඕමනියාමඩු ප්‍රදේශයෙ මාර්ගයක දූවිලි පාලනයට 29 වෙනිදා රාත්‍රී හතට පමණ වතුර ඉසමින් සිටි බවුසරයක් පිටුපසට ගමන් කිරීමේදි, බවුසර්ය පිටුපසින්, තම වැඩිමහල් සොයුරා සමග පැමිණි අවුරුදු 5 ක පිරිමි දරුවෙකු එම බවුසරයේ පිටුපස රෝදයට යටවී මියයෑමෙන් පසු, කුපිත වූ ප්‍රදේශවාසීන් එම බවුසර්යට සහ බවුසර්ය අයත් ප්‍රදේශයේ වැලි සමාගමක වාහන කීපයකට මෙන්ම එම වැලි සමාගමේ දේපලවලට හානි සිදුකර ඇති බව වාලච්චේන පොලිසිය කියයි.
මෙම අනතුරෙන් මියගොස් ඇත්තේ රිදීතැන්න දෙවනපාර, පූනානි, ලිපිනයේ පදිංචි සාදික් මොහොමඩ් රූස්ති යන අවුරුදු පහක දරුවකු බව පරීක්ෂණ සිදුකරන වාලච්චේන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ලසන්ත බණ්ඩාර අප කළ විමසීමකදී සඳහන් කළේය.
අනතුර සිදුවීමෙන් පසු රියදුරුට සහ එහි සහයකයාට පහරදී බවුසරයට කුපිත වූ පිරිස් ගිනි තබා ඇති අතර අනතුරට සම්බන්ධව බවුසරයේ රියදුරු සහ රියසහයක අත්අඩංගුවට ගෙන ඇති බවද ලසන්ත බණ්ඩාර මහතා වැඩිදුරටත් කීවේය.
අත්අඩංගුවට ගත් රියදුරු ගල්ඔය රොටවැව ප්‍රදේශයේ පදිංචි තිස්එක් හැවිරිදි අයෙකු බවත්, රිය සහයක උල්පත්ගම හසලක පදිංචි අවුරුදු තිස්හයක් වයසැති පුද්ගලයකු බවද පරීක්ෂණ සිදුකරන පොලිසිය සඳහන් කරයි.
ඔවුන් ප්‍රදේශයේ පෞද්ගලික කොන්ත්‍රාත් සමාගමක වැව් ප්‍රතිසංස්කරණ වැඩ කටයුත්තකට පැමිණ, පිටරට මගින් වැලි ප්‍රවාහන කරන මාර්ගයේ ඇතිවෙන දූවිලි පාලනය කිරීමට බවුසර්ය මගින් වතුර ඉසිමින් සිට ඇත.
එහිදී බවුසරය පිටුපසින්,පාපැදියකින් මියගිය පිරිමි දරුවාගේ අයියා සහ දරුවා පැමිණ ඇති අතර බවුසරය පිටුපසට ගමන් කිරීමේදී ඔවුන් මෙම අනතුරට මුහුණදී ඇති බව පොලිසිය සඳහන් කරයි.
අත්අඩංගුවට ගත් රියදුරු සහ සහායකයා තිස්වෙනිදා වාලච්චේන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවද පොලිසිය පවසයි.
සිද්ධිය සම්බන්ධ වාලච්චේන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ලසන්ත බණ්ඩාර ඇතුළු පොලිස් නිලධාරී කණ්ඩායමක් වැඩිදුර පරීක්ෂණ සිදුකරති.







