පවතින වැසි සහිත කාලගුණය තව දින තුනක් පවතින බවත්, අද (28) සවස් කාලයේ දිවයිනේ ප්‍රදේශ රැසක මිලි මීටර 100 ඉක්මවූ වර්ෂාපතනයක් ඇතිවිය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.
ගොඩනැගිලි පර්යේෂණ ආයතනය විසින් දිවයිනේ දිස්ත්‍රික්ක 3ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 14කට නායයාම් රතු නිවේදන නිකුත් කර තිබේ.
ඒ අනුව මහනුවර දිස්ත්‍රික්කයේ උඩුදුම්බර, කෑගල්ල දිස්ත්‍රික්කයේ දැරණියගල, දෙහිඕවිට, මාවනැල්ල, වරකාපොළ, රුවන්වැල්ල, කෑගල්ල, ගලිගමුව, යටියන්තොට, අරණායක, බුලත්කොහුපිටිය, රඹුක්කන, කුරුණෑගල දිස්ත්රික්කයේ මාවතගම, පොල්ගහවෙල යන ප්‍රදේශවලට නාය යාම් දැඩි අවදානම් සහිත බවට එම නිවේදනයේ දක්වා තිබේ.
එම ප්‍රදේශවල ඇතැම් ජනතාව අවශ්‍ය වුවහොත් ඉවත් කිරීමට හෝ දැඩි විමසිල්ලෙන් සිටිය යුතු බවට එම නිවේදනයේ දක්වා ඇත.
අධික වර්ෂාව නිසා කොළඹ, කළුතර, මාතලේ, නුවරඑළිය, රත්නපුර දිස්ත්‍රික්කවලට ද නායයාම් අවදානම් නිවේදන නිකුත් කර තිබේ.
මේ අතර ජලාශ රැසක ජල මට්ටම් ඉහළ ගොස් තිබේ. දැනට ප්‍රධාන ජලාශ දෙකක වාන් දොරටු විවෘත කර ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ඉංජිනේරු එස්.පී.සී.සුගීෂ්වර මාධ්‍යයට පැවසීය. දැදුරුඔය ජලාශයේ වාන් දොරටු තව දුරටත් එසවීමේ අවශ්‍යතාවයක් ඇති බැවින් ඒ සම්බන්ධව විමසිලිමත්ව සිටින්නැයි පහත් නිම්නවල ජනතාවට දැනුම් දී ඇත.








