අනුරාධපුර – ඇලයාපත්තුව – මාන්කඩවල නිවසක ඇති වූ ගින්නකින් මවක සහ දරුවන් දෙදෙනෙකු මිය යාම සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනවලට අදාළ ව අද (28) හෝ හෙට දිනයේ දී රස පරීක්ෂක වාර්තාවක් ලබා ගැනීමට නියමිතව තිබේ.
පෙරේදා රාත්රියේ මෙම නිවසේ කාමරයක් තුළ හටගත් ගින්නෙන් එහි නිදමින් සිටි 33 හැවිරිදි මව, ඇගේ පස්හැවිරිදි පිරිමි දරුවා සහ දස හැවිරිදි දියණිත් පිළිස්සී මිය ගියහ.
වෙනත් කාමරයක නිදාගෙන සිට දරුවන්ගේ පියා බිරිය සහ දරුවන් බේරාගැනීමට ගිය අවස්ථාවේ දී පිලිස්සුම් තුවාල ලබා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇත.
මෙම නිවසට අසළ පිහිටි නිවසකින් විදුලිය ලබාගෙන ඇති අතර, ගිනි ගැනීමට ලක්වූ කාමරේ පෙට්රල් බෝතලයක් තිබූ බව සැමියා විසින් පොලිසියට ප්රකාශ කර තිබේ.
ගින්නෙන් ජීවිතක්ෂයට පත් වූ මවගේ සහ දරුවන් දෙදෙනාගේ පශ්චාත් මරණ පරීක්ෂණය අද අනුරාධපුර ශික්ෂණ රෝහලේ දී සිදු කිරීමට නියමිත ය.
දරුවාගේ පියාගෙන් ද දීර්ඝ වශයෙන් ප්රකාශයක් ලබා ගැනීමට නියමිතව ඇත.
ගින්නට හේතුව මෙතෙක් නිශ්චිත ව අනාවරණය වී නැත. රස පරීක්ෂක වාර්තාව කැඳවීමෙන් පසු නිශ්චිත තීරණයකට එළඹිය හැකි වනු ඇතැයි විමර්ශන අංශ කියයි.







