ලෝකයේ අපරිසිදුම මිනිසා ලෙස හඳන්වා ඇති ඉරාන ජාතික මහලු මිනිසා වසර 94ක් ආයු වළඳා ජීවිතයෙන් සමුගත් බව ඉරාණ මාධ්‍ය වාර්තා කළේය.

ආමොව් හාජි අන්වර්ථ නාමයෙන් හඳුන්වනු ලැබූ ඔහු පසුගිය ඉරිදා ඉරාණයේ දකුණු පලාතේ ෆාරිස්හි ඩෙජ්ගා නැමැති ගම්මානයේ දී මරණයට පත්වන තුරු පුරා වසර හැටක් සබන් පාවිච්චි කර නැති බවත් එම වසර හැට තුළම ඔහු ස්නානය කර නැති බවත් ප්‍රාදේශීය මාධ්‍ය පැවසුවේය
ගම්වැසියන් කියා ඇත්තේ හාජිගේ තරුණ කාලයේ ඇති වූ මානසික ප්‍රශ්නයක් හේතුවෙන් ඔහු ස්නානය ප්‍රතික්ෂේප කර ඇති බවය.
ඔහු හැමදාම අමු සත්ත්ව මස් ආහාරයට ගෙන ඇත. සිගරට් පැකට්ටවක් දිනපතා බී ඇත. සත්ත්ව අසූචි සහිත දුම් පයිප්පයකින් දින පතා දුම් උරා ඇත. ඔහු විශ්වාස කර ඇත්තේ සබන් සහ ජලය ඔහුව ලෙඩ කරවනු ඇති බවය.

කෙසේ වෙතත් ඉරානයේ IRNA ප්රවෘත්ති ඒජන්සිය උපුටා දක්වමින් The Telegraph වාර්තා කර ඇත්තේ අවසානයේ මින් මාස කිහිපයකට එපිට දී ගම්වැසියන් ඔහුව නාන කාමරයකට රැගෙන ගොස් පිරිසිදු කිරීමට එකඟ කරගත් බවය. වැඩි කල් නොගොස් රෝගාතුර වූ හාජි පසුගිය ඉරිදා ජීවිතක්ෂයට පත් වී තිබේ.
දශක ගණනාවක් ස්නානාය නොකළ දත් නොමැද්ද ඉන්දියානුවෙක්…
දශක ගණනාවක් ස්නානය නොකළ ඉන්දියානුවෙක් සම්බන්ධව ද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඔහු ගැන මුලින්ම වාර්තා වන්නේ වර්ෂ 2009 දීය. ඒ වනවිට ඔහු 63 හැවිරිදි පුද්ගලයෛකි. හින්දුස්ථාන් ටයිම්ස් වර්ෂ 2009 මැයි මාසයේ දි වාර්තා කර තිබුණේ ශුද්ධ වූ වාරනාසී නගරයෙන් පිටත ගමක ජීවත්වන කයිලාෂ් කලාවූ සිං නැමැත්තා වසර 30කින් ස්නානය කර හෝ සිය දත් මැද නැති බවය.
ජාතිය මුහණ දෙන සියලු ගැටලු අවසන් කිරීදීම සඳහා වෘතයක් පුරමින් ස්නානය ප්‍රතික්ෂේප කර ඇති බව කලාවු කීවත් ගම්වැසියන් හින්දුස්ථාන් ටයිම්ස් වෙත පවසා ඇත්තේ කයිලාෂ් කලාවූ සිං එම වෘතය පුරන්නේ පුත්‍රයෙක් අපේක්ෂාවෙන් බවය.
ඔහු දියනියන් 07 දෙනෙකුගේ පියෙකි.
ඔහු ගිනි ස්නානාය නම් දෙයක් සිදුකරන බවත් සෑම සවසකම ගම්වැසියන් ඔහු වෙත එන අවස්ථාවේ දී ගිනි මැලයක් දල්වා ගිනි තපිමින් ගංජා උරමින් තනි කකුලකින් ශිව දෙවියන් යාඥා කරන බවත් හින්දුස්ථාන් ටයිම්ස් වාර්තා කර තිබිණි.
කලාවූ මෙසේ පවසා ඇත.
මෙය ස්නානයට ජලය භාවිතා කිරීම හා සමානයි. ගිනි ස්නානයෙන් ශරීරයේ සියලුම විෂ බීජ සහ ආසාදන විනාශ වෙනවා…







