තමන් අවලෝකිත්ශ්වර බෝධිසත්වයන් ලෙස හඳුන්වා ගෙන දේශන පවත්වමින් සිටිය දි ඊයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත් අඩංගුවට ගත් මහින්ද කොඩිතුවක්කු නැමැත්තා එළඹෙන 24 වනදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගත කිරීමට අද (16) කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.
පසුගිය 01 වනදා ඊජිප්තුවේ සිට මෙරටට පැමිණ තිබු මෙම පුද්ගලයා සිය අනුගාමිකයන්ගේ වැඳුම් පිදුම් ලබමින් දේශනා පවත්වමින් දෙසතියක කාලයක් රට තුළ සිටියේය.
ඒ අතරතුර අදාළ තැනැත්තාගේ දේශන තුළින් බුද්ධ චරිතයට සහ බෞද්ධ ආගමික ඉගැන්වීම්වලට නිගාවන බවට බෞද්ධ කටයුතු පිළිබඳ කොමසාරිස් ජනරාල්වරයා ඇතුළු පාර්ශ්ව කිහිපයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කර තිබිණි.
අදාළ තැනැත්තා පිළිබඳ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය විමර්ශනයක් ආරම්භ කර තිබු අතර ඒ සම්බන්ධයෙන් කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කරමින් සැකකරුට එරෙහිව විදෙස් ගමන් තහනමක්ද ඔවුන් විසින් ලබා ගත්තේය.
හරියටම සති දෙකක් පිරෙන දිනයේ දි ත්‍රෛනිකායික මහා නායක හිමිවරු මේ පුද්ගලයා ද නම් කරමින් රටේ සිදුවන ධර්ම හායනය සහ විකෘතිය පිළිබඳ දැඩි ලෙස අවධාරණය කර ජනාධිපතිවරයා වෙත සංදේශයක් යොමු කළහ.
ඊට පසු දිනම මහින්ද කොඩිතුවක්කු නැමැත්තා කොළඹ පරිගණක අපරාධ විමර්ශන අංශයෙන් අත් අඩංගුවට ගෙන අද අධිකරණයට ඉදිරිපත් කළේය







