ගම්පහ, කටුගස්තර ප්‍රදේශයේදී ඊයේ වෙඩි තබා ඝාතනය කළ ටිංකරින් කාර්මික ශිල්පියාට කිසිදු අපරාධ චෝදනාවක් නොමැති අයෙක් බව විමර්ශන අංශ පවසයි.
ගම්පහ, උඩුගම්පොළ, කටුගස්තර ප්‍රදේශයේදී ඊයේ (08) පස්වරු 4ට පමණ වාහන අලුත්වැඩියා කරන ස්ථානයක් ඉදිරිපිට මෙසේ වෙඩි තබා ඝාතනය කර තිබුනේ එම වැඩපොළ හිමි 34 හැවිරිදි ප්‍රසන්න ලක්මාල් නැමැති කාර්මික ශිල්පියා ය.
කෙසේ වෙතත් ඔහු මේ වනවිට විදේශගතව සැඟව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙක් වන කෙහෙල්බද්දර චානක නැමැත්තාගේ මස්සිනා වීම මේ ඝාතනයට හේතු වී දැයි විමර්ශන අංශවල අවධානයට ලක් වී ඇත.
මේ වෙඩික්කරුවන් වෙඩිතැබීමට පැමිණෙන අයුරු දැක්වෙන CCTV රූපරාමු පෙළක් ද මාධ්‍යයට ලැබී තිබිණි.
සිද්ධිය සම්බන්ධයෙන් පෑලියගොඩ අපරාධ කොට්ඨාසය ඇතුළු විමර්ශන කණ්ඩායම් කිහිපක් මේවන විට පරීක්ෂණ ආරම්භ කර තිබේ.
මේවන විට පොලිස් අත්අඩංගුවේ පසුවන ගණේමුල්ල සංජීව නැමැත්තාගේ සමීපතමයන් වන දැනට විදේශගතව සැඟව සිටින ලක්මාල් නැමැත්තෙක් හා දිනේෂ් වසන්ත නැමැත්තෙක් විසින් මෙම ඝාතනය මෙහෙයවා ඇතැයි සැක කරන බව විමර්ශන අංශ පවසයි.
ඔවුන් දෙදෙනා විසින් සිය ප්‍රතිවාදියෙකු වන කෙහෙල්බද්දර චානක නැමැත්තාගෙන් පළිගැනීම සඳහා මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවට පොලීසිය සැක කරයි.
කෙසේවෙතත් මෙම වෙඩි තැබීමට හේතුව මෙතක් නිශ්චිතව අනාවරණ්‍ය වී නැත – දෙරණ







