පක්ෂ නායකයින් සහ සියලු ආගමික නායකයින් රැස් කර අන්තර්වාර පාලනයක් ගොඩනැගීමේ එකඟතාවය මහා සංඝයා මුල් වී ඇති කරනවා නම් තමන් අගමැති ධුරයෙන් ඉවත්වීමට සූදානම් බවත් එසේ නොමැතිව රට අස්ථාවර කරන කිසිම තීන්දුවක් නොගන්නා බවත් අගමැතිවරයා අද ආචාර්ය ඕමල්පේ සෝබිත හිමි ප්‍රමුඛ මහා සංඝයා වෙත අද දැනුම් දී ඇත.
අගමැතිවරයා මේ බව ප්‍රකාශ කළේ පූජ්‍ය ආචාර්ය ඕමල්පේ සෝභිත ස්වාමීන්වහන්සේ ප්‍රධාන මහා සංඝරත්නය අද (26) පස්වරුවේ අරලියගහ මන්දිරයේ දී අගමැතිවරයා හමු වූ අවස්ථාවේ දී ය.
එහිදී මහා නායක හිමිවරුන් නිකුත් කළ ලිපිය පිළිබඳව මෙහිදී සංඝයා වහන්සේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ දැනුවත් කරනු ලැබූහ. අන්තර්වාර පාලන ආණ්ඩුවක් පිහිටුවීම සම්බන්ධයෙන් මෙහිදී මහා සංඝරත්නය සිය අදහස් පළ කර තිබිණි.
ඒ සම්බන්ධව අගමැතිවරයා ප්‍රකාශ කර තිබුණේ මෙවැන්නකි.
“මා ඉල්ලා අස්වෙන්නම්. කිසිම ප්‍රශ්නයක් නෑ. නමුත් මා ඉවත් වූ පසු විශාල හිඩසක් ඇති වෙනවා. කැබිනට් මණ්ඩලය අහෝසි වෙනවා. ඒ හිඩස පුරවා ගන්න කල්ගත වෙනවා. එහෙම කල්ගත වුනාම රටට රජයට පාලනය කෙරෙහි ගැටලු ඇතිවෙනවා. “
එහිදී මහා සංඝයා පවසා ඇත්තේ විධායක ජනාධිපතිවරයෙක් මේ රටේ සිටිනා බවය.
එහෙත් අගමැතිවරයා ප්‍රකාශ කර ඇත්තේ අගමැතිවරයා ඉවත් වී රජයක් විසුරුවා හැරුණු පසු ඇතිවන හිඩස ජනාධිපතිවරයෙකුට තනිවම පිරවිය නොහැකි බවය.
“ මා ඉවත් වෙනවා නම් පාර්ලිමේන්තුවේ සියලු පක්ෂ එකතු කරගෙන ඒ පියවර තබන්න ඕන. එන අගමැති කවුද? ඔහු පත්වන්නේ කොහොමද කියලා තීරණය කරන්න ඕන.පක්ෂ නායකයෝ රැස්කරලා තීරණයක් අරන් ඔබවහන්සේලා එන්න. ඊට පස්සෙ ඉල්ලා අස්වෙන්නම්. “
අගමැතිවරයා කියා තිබුණේය.
රටේ ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීම සඳහා දේශපාලන ස්ථාවර භාවය වැදගත්වන බවත්, ඒ හේතුවෙන් කිසිම මොහොතක රට අරාජික වීමට තමන් ඉඩ නොතබන බවත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මෙහිදී අවධාරණය කර තිබිණි.
පූජ්‍ය ඕමල්පේ සෝභිත ස්වාමීන්වහන්සේ, පූජ්‍ය අගලකඩ සිරිසුමන ස්වාමීන්වහන්සේ, පූජ්‍ය රජවත්තේ වප්ප ස්වාමීන්වහන්සේ, පූජ්‍ය පාහියංගල ආනන්ද සාගර ස්වාමීන්වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය මෙම අවස්ථාවට වැඩම කර සිටියහ.







