ජාතික රූපවාහිනියේ සමාජ ජාල සහ වෙබ් අඩවි ප්‍රතිසංවිධානය කිරීමේ කටයුතුවලට ගිවිසුම්ගත වූ සමාගම හැර සෙසු කිසිදු පාර්ශවයකට සම්බන්ධ වීම වළක්වමින් අද ( 22 ) කොළඹ සිවිල් අභියාචනාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය.
ජාතික රූපවාහිනී සංස්ථාවේ සභාපති සොනාල ගුණවර්ධනට සහ ශ්‍රී ලංකා වරූපවාහිනී සංස්ථාවට එරෙහිව අධිකරණය මෙම තහනම් නියෝගය නිකුත් කරන ලද්දේ ජාතික රූපවාහිනියේ සමාජ ජාල සහ වෙබ් අඩවි නව්‍යකරණ ව්‍යාපෘතිය භාරව කටයුතු කළ විශ්මිත එන්ටප්‍රයිසස් නම් සමාගමේ හිමිකරු වූ හර්ෂ කමල් ගෝමස් විසින් අධිකරණයට ගොනු කරන ලද පෙත්සමක් විභාගයට ගනිමිනි.
එම පෙත්සම්කරු සඳහන් කර ඇත්තේ වර්ෂ 2018 දී ජාතික රූපවාහිනියේ ඩිජිටල් නව්‍යකරණය ව්‍යාපෘතිය ක්‍රියාත්මක කීරීම සඳහා නිශ්චිත ක්‍රමවේදයක් අනුව තම සමාගම තේරී පත් වුණු බවය.
මුල් ගිවිසුම්ගත කාලය අවුරුදු තුනක් වූ අතර එම ව්‍යාපෘතියේ ගිවිසුම් කාලය 2021 නොවැම්බර් මස 15 වැනිදා අවසන් වූ පසු තවත් අවුරුදු තුනක් සඳහා රූපවාහිනී කළමනාකරණය එම සමාගම හා ගිවිසුමකට එළඹ තිබුණු බව පෙත්සම් කරු අධිකරණයට ප්‍රකාශ කළේය.
එසේ තිබිය දී පසුගිය දා පත් වුණු නව සභාපති සොනාල ගුණවර්ධන එම ගිවිසුම හදිසියේ අවලංගු කරමින් වෙනත් පාර්ශවයකට එම ව්‍යාපෘතිය භාර දී ඇත.
සභාපතිවරයා මෙම ව්‍යාපෘතිය භාර දී ඇත්තේ දෙරණ රූපවාහිනී ජාලයේ හිමිකාරිත්වයට සම්බන්ධයක් ඇති “අයිඩියා හෙල් “ සමාගමටය.
තම ව්‍යාපාරික කටයුතු හදිසියේ නතර කිරීමට එරෙහිව මහාධිකරණයට කරුණු ගොනු කළ හර්ෂ කමල් ගෝමස් එයින් තමන්ට සිදුව ඇති අගතිය සම්බන්ධව කරුණු දක්වා මේ පිළිබඳව නිසි විභාගයක් පවත්වන තෙක් තම සමාගම සමග ගිවිසුම්ගත වී ඇති කටයුතු වෙනත් කිසිදු පාර්ශවයක් වෙත ලබා නොදෙන ලෙස අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන්නැයි පෙත්සම ඉදිරිපත් කරමින් අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
එම පෙත්සම සලකා බලමින් අද අධිකරණය මෙම තහනම් නියෝගය නිකුත් කළේය.
විශ්මිත එන්ටප්‍රයිසස් ආයතන වෙනුවෙන් ජනාධිපති නීතිඥ ඩිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ උක්ත පෙත්සම මහාධිකරණය වෙත ඉදිරිපත් කළාය.