ඉන්දියානු කණ්ඩායම මොනතරම් ස්ථාවර කණ්ඩායමක් දැයි යළිත් පෙන්වා දුන්නේය. ඔස්ට්‍රේලියානුවන් සමග චෙන්නායිවල පැවති තරගය මෙතෙක් පැවති තරග රිද්මය වෙනස් කළේය. එම තරගය පෙර පැවති තරග මෙන් පිතිකරුවන්ට පහසු එකක් වූයේ නැත.
තරගයේ කාසියේ වාසිය දිනුවේ ඔස්ට්‍රේලියාවය. ඔවුහු මුලින් පන්දුවට පහර දෙන්නට තීන්දු කළහ.
එහෙත් ඒ තීරණය සපුරා වැරදි බව ඉන්දියානු පන්දු යවන්නෝ පෙන්වා දුන්හ. ඔවුහු ඔස්ට්‍රේලියානු ඉනිම සුන් කළහ. පන්දු ඕවර 49.3 ක දී ඔස්ට්‍රේලියානුවෝ බලාපොරොත්තු නොවූ ලෙස ලකුණු 199කට දැවී ගියහ.
ආරම්භක පිතිකරු ඩේවිඩ් වෝනර් ලකුනු 41කි. ස්ටීවන් ස්මිත් ලකුණු 46කි. මිචෙල් ස්ටාක් කෙළවරින් පැමිණ ලකුණු 28ක් ගැහුවේය. මානස් ලබුස්චග්න් ලකුණු 27කි. අනෙක් සියලු දෙනා ලකුණු 15ට අඩුවෙන් දැවී ගියහ.
රවීන්ද්‍ර ජඩේජා ලකුණු 28කට කඩුළු 03ක්, කුල්දීප් යාදේව් ලකුණු 42ට කඩුළු 02ක්, ජස්ප්‍රිට් බුම්රා ලකුණු 35ට කඩුළු 02ක් ලැබූහ.
199 පහසු ඉලක්කයක් සේ සිතුන බව සැබෑය. නමුත් ඔස්ට්‍රේලියානු පන්දු යවන්නෝ මුල් ඕවර 02 දීම ඉන්දියාව හොල්ලා දැම්මේය. රෝහිත් ෂර්මා ලකුණු ලැබුවේ නැත. පන්දු 06ක දි දැවී ගියේය. ආරම්භක පිතිකරු ඉෂාන් ක්‍රිෂාන් මුහුණ දුන් මුල් පන්දුවේ දීම දැවි ගියේය. දෙවැනි බින්දුවය. ශ්‍රෙයාස් අය්යර් පන්දු තුනකට පමණක් මුහුණ දුන්නේය. ලකුණු නොලබා දැවී ගියේය. එක දිගට බින්දු තුනකි. ලකුණු දෙකකි. කඩුළු 03කි. අනතුරුව කේ.එල්. රාහුල් සමග එක් වී ක්‍රීඩා කරමින් සිටි විරාට් කෝලි ලකුණු 12 දි මිෂෙල් මාර්ෂට උඩපන්දුවක් ලබා දුන්නේය. එය ඔහු අත හැරියේය. ඔස්ට්‍රේලියාවට තරගය අත් හැරුණේ එතැනදීය.
එතැන් සිට කෝලි සහ රාහුල් ක්‍රීඩා කරන ආකාරය දුටු මේ ලියන මට නම් මතක් වුනේ ඉන්දියාව සමග අපි ආසියානු කුසලාන අවසන් තරගයට මුහුණ දුන් අවස්ථාවය. අපට කඩුළු තුනක් බිඳී ගිය පසු එම පීඩනය දරාගන්නට සමත් මැදපෙළක් සිටියේ නැත. අප එදා දුටුවේ භීතියෙන් පිටියට එන පිතිකරුවන්ය. විශ්වාසයක් හා සංයමක් නොමැතිව අයාලේ යන පන්දුවලට හැඳි දමා අපට ක්‍රිකට් එපා කරවන ආකාරයේ ක්‍රිකට්ය . එවන් ඉරණමක් වෘත්තීය ක්‍රීඩා පරිචයක් සහිත කණ්ඩායමකට අත් නොවන බව ඉන්දියාව අද කියා දුන්නේය.
ඉන්දියාව අද ක්‍රීඩා කලේ ශ්‍රී ලංකා කණ්ඩායමට අධ්‍යයනය කළ හැකි පාඩමක් වැනි ඉනිමක් බව පෙනුණි. වෘත්තීය ක්‍රිකට් ක්‍රීඩකයෙක් පීඩනය දරා ගන්නා ආකාරයත් විශ්වාසයෙන් ඒ පීඩනයෙන් නිදහස් වී තරගයක් ජයග්‍රහණය කරන ආකාරයත් කියා දෙන්නට විරාට් කෝලි සහ කේ.එල් රාහුල් සමත් වූහ.
ලකුණු 02කට කඩුළු 03ක් බිඳී ගිය අවස්ථාවේ දී සිවුවන කඩුල්ල වෙනුවෙන් ඔවුන් දෙදෙනා ගොඩනැගු සම්බන්ධතාවය ලකුණ 165කි. ලකුණු 199 ඉලක්කයක් හඹා යන ඉන්දීය කණ්ඩායම ජයග්‍රහණය පාමුලට ගෙනැවිත් ලකුණු කෝලි ලකුණු 85කට දැවී ගියේය. ඔහු පන්දු 116කට මුහුණ දුන්නේය. මිනිස්තු 171ක් කඩුල්ලේ සිටියේය. එල්ල කළේ හතරේ පහර 06ක් පමණි. එක් හයේ පහරක් නැත. කේ.එල්. රාහුල් පන්දු 115ක දී ලකුණු 97ක් ලැබුවේය. නොදැවී ලබාගත් ලකුණු 87 හතරේ පහර 08ක් සහ හයේ පහර 02ක් ඇතුළත් විය. ශතකය ලබා ගන්නට කලින් තරගය දිනුවේය. තරගයේ වීරයා රාහුල් ය.
ඉන්දියානුවන් ලකුණු 201 ලබාගෙන තරගය ජයග්‍රහණය කරන්නේ පන්දු ඕවර 41.2ක දී ය. ඔවුන් පෙන්නා තිබුණේ මුල් පෙළ කුඩු කර දැමුවත් ඕනෑම විශාල ඉලක්කයක් හඹා ගොස් තමන්ට ජයග්‍රහණය කළ හැකි පෞරුෂයක් සහ විශ්වාසයක් ඇති බවය.
ජයග්‍රහණය සඳහා අවශ්‍ය ඒ විශ්වාසය ය. ශ්‍රී ලංකා කණ්ඩායමට අද ඉන්දීය ඉනිම පාඩමක් බව ලියා තබන්නේ එබැවිනි.