වත්මන් ජනාධිපතිවරයා ප්රමුඛ ආණ්ඩුව ඉවත් කර පොදු වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ හැකි ආකාරය ගැන විපක්ෂය නියෝජනය කරන දේශපාලන පක්ෂ නායකයින් අතර මේ වනවිට සාකච්ඡා ආරම්භ වී තිබේ.
එක්සත් ජාතික පක්ෂ රනිල් වික්‍රමසිංහ, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්රස් නායක රවුෆ් හකීම්, දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරමින් එහි පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. සුමන්තිරන්, සහ වතුකරය නියෝජනය කරන පලනි දිගම්බරම්, දෙමළ ජනතාවගේ පොදු ජන පදනමක් සහිත මනෝ ගනේෂන් යන අය අතර මේ සාකච්ඡා පැවැත්වෙමින් ඇති බව ඉතා විශ්වාස කටයුතු ආරංචි මාර්ග ඔස්සේ ලංකාසරට වාර්තා වේ.
විපක්ෂයේ ප්‍රධාන පක්ෂ සහිත කණ්ඩායමේ නායකයින්ගේ සහභාගීත්වයෙන් පසුගිය සතියේ විශේෂ සාකච්ඡා වාර දෙකක් කොළඹ දී පවත්වා ඇත. ඉදිරි සාකච්ඡා එළඹෙන සතියේ මුල් දින තුළ පවත්වා නිශ්චිත පොදු වැඩපිළිවෙළක් හැකි ඉක්මනින් සකසා ගැනීම ඔවුන්ගේ අරමුණ වී ඇත.
ඔවුන් සාකච්ඡා කරමින් ඉදිරිපත් කරන වැඩපිළිවෙලට මූලික එකඟතාවයක් මත පිහිටා සහයෝගය දීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත්, විමල් – ගම්මන්පිල කණ්ඩායමත්, ආණ්ඩුවෙන් ස්වාධීන වූ දේශපාලන පක්ෂත්, ආණ්ඩුව නියෝජනය කරන පිරිසකුත් කැමැත්ත පල කර තිබේ. ඔවුන් මේ වනවිට පොදු වැඩපිළිවෙළ සඳහා ජනාධිපතිවරයා එකඟ කරගැනීමේ සාකච්ඡා ආණ්ඩුව සමග ආරම්භ කර ඇත.
මේ අය අතර පැවැත්වෙන සාකච්ඡාවලදී විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට යෝජනා වී ඇති අතර එසේ නොමැතිනම් දැනට බලාත්මකව ඇති විසි වැනි ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කර ඒ වෙනුවට 19 වැනි ව්‍යවස්ථාව බලාත්මක කිරීමට එකඟතාවය පල කර ඇති බව දැනගන්නට තිබේ.
පූර්ණ විධායක බලතල සහිත ජනාධිපතිවරයෙක් ඉහළින් සිටිය දී අන්තර්වාර පාලන ආණ්ඩුවක් හෝ වෙනත් ක්‍රමවේදයක් හෝ ක්‍රියාත්මක කිරීම කුමණ පලක්වත් නැති බව ඉහත පක්ෂවල ස්ථාවරය වී ඇත.
මේ අනුව සියලු දෙනාට එකට එකතු වී වැඩ කළ හැකි පොදු වැඩපිළිවෙළක් නිශ්ඡිත කාල රාමුවක් තුළ ගොඩනන්වා එය ක්‍රියාත්මක කිරීමෙන් පසු තම තමන්ගෙ අනන්‍යතාවය ආරක්ෂා කරගනිමින් මැතිවරණයකට ඉදිරිපත් වීමට අපේක්ෂා කරන බව මේ පිළිබඳව කළ විමසීමක දී එම සාකච්ඡාවට එක් වී සිටින පක්ෂ නායකයෙක් ලංකාසරට පැවසීය.
තම පක්ෂය ඇතුළු දේශපාලන පක්ෂ අතර සාකච්ඡා ඉතාම සාර්ථක බවත් නුදුරේදීම පොදු වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන බවත් එම පක්ෂ නායකයා කීවේය.
20 වැනි ව්‍යවස්ථා සංශෝධනය අවලංගු කර 19 වැනි ව්‍යවස්තාව බලාත්මක කිරීමේ යෝජනාව අද ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායක මෛත්‍රීපාල සිරසේන පවසන්නේ මෙම වැඩපිළිවෙළේ ක්‍රියාත්මක මූලික ප්‍රවේශයක් ලෙස බව වාර්තා වේ.
ආණ්ඩුව නියෝජනය කරමින් මෙම වැඩපිළිවෙළට සහයෝගය දක්වන පිරිස් සහ ස්වාධීන වූ පක්ෂ වෙන වෙනම ආණ්ඩුවත් සමග අභ්‍යන්තර සාකච්ඡා කරමින් ඉන්නේ ජනාධිපතිවරයා පොදු වැඩපිළිවෙළට අකමැති වුවහොත් ව්‍යවස්ථානුකූලව පාර්ලිමේන්තුවේ බලය යොදා ගනිමින් ප්‍රශ්නයට විසඳුමක් සෙවීමේ අමුණින් බව දැනගන්නට ඇත.







